පොලීසියට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට ආරාධනයක්

පොලීසිය බලය අනිසි ලෙස භාවිතා කරන බවට චෝදනා
Image caption පොලීසිය බලය අනිසි ලෙස භාවිතා කරන බවට චෝදනා

වසර තුනකට පසුව යළි පණ ගැන්වුණු පොලිස් කොමිසම, පොලීසියට එරෙහි පැමිණිලි එකසිය විසි නවයක් විභාග කිරීම අරඹා ඇති බව එහි සභාපති සේනක වල්ගම්පාය කියා සිටියි.

මෙයින් පැමිණිලි විසි තුනක් ඉදිරිපත් කරනු ලැබ තිබුනේ ආසියානු මානව හිමිකම් කොමිසම මගින් වන අතර එම පැමිණිලි පිළිබඳව පරීක්ෂණ අරඹා ඇති බවයි මාධ්‍ය වේදීන් හමුවුණු ඔහු කියා සිටියේ.

කොළඹ ඇතුළු පළාත් නවයකට කොමිසම සඳහා අධ්‍යක්ෂ වරුන් පත් කිරීමේ කටයුතු සූදානම් ව ඇතත්, උතුරු සහ නැගෙනහිර පළාත් වලින් තවමත් ඒ සඳහා අයැදුම්පත් නොලැබුණු බවද සභාපති වරයා ජනමාධ්‍යට හෙළි කළේය.

ලැබී ඇති පැමිණිලි ගණනින් තුනෙන් එකකින් චෝදනා කර ඇත්තේ, පොලීසිය වෙත කළ දැනුම්දීම් සම්බන්ධයෙන්පරීක්ෂණ නොපැවැත්වීම පිළිබඳව බවයි සභාපති සේනක වල්ගම්පාය පවසන්නේ. කොමිසමට ලැබී ඇති පැමිණිලි සියයට විසිතුනකින් පොලීසිය බලය අනිසි ලෙස භාවිතා කරන බවට චෝදනා කර ඇතැයිද ඔහු කියා සිටියි.

දේශපාලන පක්ෂ කෙරෙහි පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය සියයට දහතුනක් වන බව පවසන සභාපතිවරයා පොලිසිය කළ පහරදීම් පිළිබඳව පැමිණිලි කර ඇත්තේ සියයට හයක් පමණක් බවද සඳහන් කළේය.

"අපිට දඬුවම් නිර්දේශ කරන්නට බැහැ. අපේ විමර්ශන වාර්තාවේ නිර්දේශ රාජ්‍ය සේවා කොමිසන් සභාවටත් පොලිස්පති වෙතටත් යවන්නට අපට පුළුවනි. ඒ පිලිබඳ කටයුතු ගැන බලපෑම් කරන්නට අපට හැකියාවක් නෑ" යැයි සභාපති වරයා පැවසුවේය.

මෙම නිර්දේශයන් ක්‍රියාත්මක වන බවට තමන් හට විශ්වාසයක් තිබෙන බව ප්‍රකාශ කළ කොමිසමේ නිලධාරීන්, පොලීසියට එරෙහි පැමිණිලි ගෙන යා හැකි ස්වාධීන ආයතනයක් පැවැතීම ශුභවාදී ලක්ෂණයක් බවයි පෙන්වා දෙන්නේ.

පොලීසියට එරෙහි පැමිණිලි තිබේ නම් එම පැමිණිලි කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මහජනතාවට ආරාධනා කරන බවද සභාපතිවරයා කියා සිටියි.