'උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි'

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් සම්මේලනය සන්දහා පැමිණෙමින්
Image caption දෙමළ ජනතාව ඉල්ලන විසඳුම තමන්ට තර්ජනයක් නොවන බව සිංහල ජනතාව තේරුම් ගත යුතු බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

උතුරු නැගෙනහිර පළාත් යලිත් ඒකාබද්ධ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.

"එක්සත් ලංකාවක් තුල ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ආත්ම ගෞරවය සහිතව ජීවත්වීමේ අයිතිය හිමි දේශපාලන බලය ඇතුලත් බල ඒකකයක් දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම ලෙස අපේක්ෂා කරන," බව එම පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

අද මඩකලපුවේ පැවති පක්ෂයේ 14 වැනි ජාතික සම්මේලනය අමතමින් ඒ බව ප්‍රකාශ කළ පක්ෂයේ නායකයා, එම ඒකකයේ ප්‍රධානම පදනම වියයුත්තේ උතුරු නැගෙනහිර පළාත් ඇතුලත් දෙමළ ජනතාවගේ "නොබෙදුණු ඓතිහාසික ජීවන භුමිය" බවද අවධාරණය කළේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ ප්‍රධානම පක්ෂයයි.

'සිංහලයාට තර්ජනයක් නොවේ'

"මෙම ඒකකයේ අපේ භුමිය අපිම පාලනය කරමින් අපේ සමාජය අප විසින්ම ආරක්ෂා කරන, අපේ ආර්ථිකය අපම දියුණු කරගන්නා, අපේ සංස්කෘතිය අප විසින්ම සුරකින බලය කිසිදු බාධාවකින් තොරව ඇතුලත් විය යුතු," බවද දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේය.

එමෙන්ම එම පළාත්වල දේශපාලන, සිවිල්, ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අංගයන් තමන් විසින්ම පාලනය කිරීමේ තම ජාතියේ අභිලාශය "යුක්ති සහගත, සාධාරණ, ධර්මානුකුල," එකක් බවද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි.

එසේ ඉදිරිපත් කෙරෙන විසඳුම ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් අනුමත කරන්නක් විය යුතු බවත් පවසන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා, තමන් මේ ඉදිරිපත් කරන විසඳුම කිසිදු ජාතියක ස්වෛරී භාවයට තර්ජනයක් එල්ල කරන්නක් නොවන බවත්, රටේ ඒකීය භාවය බෙදීමේ කිසිදු කපටි අරමුණක් මෙහි නොමැති බවත් අවධාරණය කළේය.

එබැවින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉල්ලන විසඳුම තමන්ට තර්ජනයක් නොවන බව සිංහල ජනතාව තේරුම් ගත යුතු බවද ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම එම විසඳුම උතුරු නැගෙනහිර වෙසෙන මුස්ලිම් ජනතාවටද පිළිගත හැකි ව්‍යුහයක් මත පදනම් විය යුතු බවද එම පක්ෂය පවසයි.