ලසිත් මාලිංග මිඩ්ල්සෙක්ස් කණ්ඩායමෙන් ඉවත් වෙයි

Lasith Malinga at IPL Image copyright a
Image caption ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේදී ලසිත් මාලිංග කඩුලු 22 ක් දවා ගැනීමට සමත් විය

බ්‍රිතාන්‍යයේ මිඩ්ල්සෙක්ස් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කිරීම මගින් තවදුරටත් ආබාධවලට ලක්වනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය වෙනස් කොට තිබේ.

මිඩ්ල්සෙක්ස් සමාජය වෙනුවෙන් විස්සයි විස්ස තරඟ හතක් ක්‍රීඩා කිරීමට ඔහු මේ මාසය මුලදී ගිවිසුමකට අත්සන් තැබුවේය.

ලසිත් මාලිංග බොහෝ ක්‍රිකට් තරඟවලට සහභාගිවන බැවින්, ඔහු ආබාධවලට ලක්වනු ඇතැයි පළවන අවධානය තමාට වැටහෙන බව මිඩ්ල්සෙක්ස් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් පිලිබඳ අධ්‍යක්ෂ ඇන්ඩි ෆ්රේසර් පැවසීය.

"අපි හැමදෙනාම බලාගෙන හිටියේ ලසිත් එක්ක එකට වැඩකරන්න. ඒ නිසා අපිට ඒ අවස්ථාව අහිමිවීම ගැන අපි කනගාටුවෙනවා," ඔහු පැවසීය.

පසුගිය ඉරිදා අවසන්වූ ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ ලසිත් මාලිංග, එක විකට්ටුවකට ලකුණු 15.90 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 22 ක් දවා ගැනීමට සමත් විය.

කෙසේ වුවද වරින් වර මතුවූ දණහිසේ සහ කොන්දේ ආබාධ හේතුවෙන් තරඟාවලිය පුරාම ඔහුට වරින් වර තරඟ වලින් ඉවත් වීමට සිදුවිය.

මේ තත්වය යටතේ විශේෂයෙන්ම ළඟ එන ගිම්හානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින් ඔහු තවදුරටත් ආබාධවලට ලක්වීමේ අවදානමෙන් මිදීම සඳහා ඔහුට විවේකයක් අවශ්‍ය බව ලසිත් මාලිංගගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද විශ්වාසයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ