දුමින්ද ගෙන් ප්‍රශ්න කරන තුරු ඔහු අත් අඩංගුවට ගන්න බෑ - නීතිපති වරිය

Eva Wanasundara assuming office as AG Image copyright ITN Sri Lanka
Image caption අත් අඩංගුවට ගැනීමට ප්‍රථම සැකකරුවෙකු ගෙන් ප්‍රශ්න කිරීම සාමාන්‍ය ප්‍රතිපත්තිය බවද නීතිපති වරිය පවසයි

ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විදේශගතව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඔහුගෙන් කට උත්තරයක් ලබාගන්නා තුරු නඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි නීතිපති වරිය පවසයි.

බීබීසී සංදේශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නීතිපති ඊවා වනසුන්දර ඒ බව ප්‍රකාශ කළේ, චුදිත මන්ත්‍රීවරයා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සඳහා තවත් කෙතරම් කලක් බලා සිටීමට සිදුවේ දැයි යන්නත් පැහැදිලි නැති බවට නීතිපති වරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ වරයා අද කොළඹදී අධිකරණය ඉදිරියේ කළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේ දී.

"අපි පිරටට යවල කවුරු හරි අපි ඉන්ටර්පෝල් යොදල එයාව අත් අඩංගුවට අරගෙන අපි මෙහෙ ගෙනල්ල කට උත්තරයක් ගන්නේ කොහොමද එයාට කථාකරන්න බැරිනම්," නීතිපති ඊවා වනසුන්දර ප්‍රශ්න කළාය.

අත් අඩංගුවට ගැනීමට ප්‍රථම ඕනෑම සැකකරුවෙකු ගෙන් ප්‍රශ්න කිරීම සාමාන්‍ය ප්‍රතිපත්තිය බවද නීතිපති වරිය සඳහන් කළාය.

වෛද්‍ය වාර්තා

"ඒක ගොඩක් අය දන්නේ නැහැ මම හිතන්නේ. දැන් මේ තැනැත්තාට කථාකරන්න බැරි තත්වයක සහ තුවාල ලබා ඉන්න තත්වයේ ඉන්න නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ," නීතිපති වරිය ප්‍රකාශ කළාය.

චුදිත මන්ත්‍රී වරයා අත් අඩංගුවට ගන්නා මෙන් ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින සිංගප්පූරුවේ පොලීසියෙන් උපකාර පතා තිබේදැයි විමසූ අවස්ථාවේ ඊවා වනසුන්දර නීතිපති වරිය පැවසුවේ තමන් ඒ පිළිබඳව වැඩි විස්තර නොදන්නා බවයි.

"අපේ දෙපාර්තමේන්තුවෙන් එහෙම ඉල්ලලා නෑ. අපේ දෙපාර්තමේන්තුවෙන් කරන රාජකාරිය පරීක්ෂණ පවත්වන ඒක නෙවෙයි. අපේ දෙපාර්තමේන්තුවෙන් කරන්නේ පොලීසියෙන් පරීක්ෂණ පවත්වලා අපිට දෙන දත්ත අනුව වැඩකරන එකයි," ඇය ප්‍රකාශ කළාය.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සැබවින්ම අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටින්නේ යයි වෛද්‍ය වාර්තා තිබේදැයි යන්නද තමා නොදන්නා නමුත් පොලීසිය ඒ පිලිබඳ නිගමනයකට එළැඹෙන්නට ඇත්තේ එම වාර්තා සලකා බැලීමෙන් පසුව විය යුතු බවද ඇය සඳහන් කළාය.

කෙසේ වුවද සැකකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මන්ත්‍රී වරයාගේ දෙමාපියන් ගෙන් දිවුරුම් පෙත්සම් ලැබී ඇති බවයි, නීතිපති ඊවා වනසුන්දර පවසන්නේ.

භාරත ලක්ෂ්මන් ඝාතනයට අදාළ පරීක්ෂණ කටයුතු හමාර කොට ඇති බවයි, පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඇතුළු සිව් දෙනෙක් කොලොන්නාවේ සිදුවූ වෙඩි තබා ගැනීමකින් මියගියේ ඉකුත් ඔක්තෝබරයේදී.

එම ඝාතනයට සැක කැරෙන ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා එම වෙඩි තබා ගැනීමෙන් තුවාල ලබා මේ වනවිට සිංගප්පුරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය මීට ඉහතදී අධිකරණයට දැනුම් දී තිබින.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර