මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ගිවිසුමට අත්සන් තැබේ

Image copyright Defence.lk
Image caption මෙම ගිවිසුම යටතේ වාරි මාර්ග ව්‍යාපෘතියක් ඉදිකෙරෙන අතර ජල විදුලි බලාගාරයක්ද ඉදිකිරීමට යෝජිතයි

දශක හතරක් පමණ ප්‍රමාදයට පත්වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ගිවිසුමට අද අත්සන් තැබුණා. චීනයේ සිනෝ-හයිඩ්‍රෝ සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබුණු එම ගිවිසුම යටතේ වාරි මාර්ග ව්‍යාපෘතියක් ඉදිකෙරෙන අතර ජල විදුලි බලාගාරයක්ද ඉදිකිරීමට යෝජිතයි.

මේ සඳහා රුපියල් මිලියන 32,800 වැය කෙරෙන බව වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේ යටතේ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000 ක් කන්න දෙකේදීම වගා කිරීමේ පහසුකම් සැලසෙන අතර මෙගාවොට්ස් 27 ක විදුලිය උත්පාදනයක්ද සිදුවන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ පාරිසරික ප්‍රශ්න ඇතිවේය යන සැකය හේතුවෙන් ජපාන රජය ඊට ආධාරදීම අත්හල බව, වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය. එහෙත් පරිසර සංරක්ෂණයට අවශ්‍ය කරුණු සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය සැලසුම්කොට ඇති බව හෙතෙම ගිවිසුමට අත්සන් තබමින් කියා සිටියේය.

පරිසර සංවිධාන පවසන්නේ දැනටමත් එම ප්‍රදේශයේ පරිසරයට හානි සිදුවන ක්‍රියාකාරකම් ආරම්භකොට ඇති බවයි. ඒ අවට පදිංචි අයගේ ගොවිතැන් කටයුතු හේතුවෙන් ජලපෝෂිත ප්‍රදේශ තර්ජනයට මුහුණ දී ඇති බවයි, ශ්‍රී ලංකා සොභා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් ප්‍රකාශ කළේ.

වැලි ගොඩදැමීම , මැණික් ගැරීම පමණක් නොව මැණික් ගැරීම සඳහා යන්ත්‍ර සුත්‍ර භාවීත කිරීමට ඉඩ දී තිබීම නිසා ප්‍රදේශයේ පරිසරයට දැනටමත් හානි සිදුවෙමින් පවතින බව ඔහු පැවසීය.

මේ ප්‍රදේශයේ වර්ෂාපතනය දිගින් දිගටම අඩුවෙමින් දිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනටමත් අනතුරු අඟවා තිබෙන බව ශ්‍රී ලංකා සොභා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් තවදුරටත් ප්‍රකාශ කළේය.