'මඩකලපුවෙනුත් වී මිලදී ගන්න' ගොවීහු යුද හමුදාවෙන් ඉල්ලති

Rice
Image caption ස්ථාවර මිලකට වී විකුණා ගැනීම මඩකලපුවේ ගොවීන් මුහුණදෙමින් සිටින බරපතල අභියෝගයක්

උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංකා හමුදාව විසින් ක්‍රියාත්මක කොට තිබෙන ගොවියන්ගෙන් කෙලින්ම වී මිලදී ගැනීමේ ක්‍රියාදාමය මඩකලපුවට ද ව්‍යාප්ත කිරීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බව හමුදා ප්‍රකාශක වරයා පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට ඒ බව ප්‍රකාශ කළේ තම ප්‍රදේශවලද ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මෙන් ප්‍රාදේශීය බලධාරීන් මාර්ගයෙන් හමුදාවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මඩකලපුවේ ගොවිජන සංවිධාන ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

උතුරු මැද පළාතේ සහ නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ගෙන් කෙලින්ම වී මිලදී ගැනීම ශ්‍රී ලංකා හමුදාව විසින් ක්‍රියාත්මක කොට තිබෙන බව සඳහන් කළ හමුදා ප්‍රකාශක වරයා, එය හමුදා සෙබළුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ක්‍රියාත්මක වන්නක් බව අවධාරණය කළේය.

Image caption ශ්‍රී ලංකා හමුදාව ඇතැම් ප්‍රදේශවල ගොවීන්ගෙන් කෙලින්ම වී මිලදී ගැනීම ආරම්භ කොට තිබේ

අම්පාර දිස්තික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් ද වී මිලදී ගැනීම හමුදාව විසින් ආරම්භ කොට තිබෙන නමුත්, මඩකලපුවේ ගොවියන්ට තවමත් ඒ ගැන කිසිදු දැනුම් දීමක් කොට නොමැති බවයි, ප්‍රදේශයේ ගොවියෙක් මඩකලපුවේ ශාන්ති සෙල්වදුරේ ට කියා සිටියේ.

"හමුදාව අපෙනුත් වී මිලදී ගන්නවා නම්, ඒක සතුටුදායක ආරංචියක්," ඔහු පැවසීය.

ස්ථාවර මිලකට වී විකුණා ගැනීම මඩකලපුවේ ගොවීන් කාලාන්තරයක් මුළුල්ලේ මුහුණදෙමින් සිටින බරපතල අභියෝගයක්. ගබඩා කිරීමේ පහසුකම් තිබෙන ගොවීන් තවමත් මහා කන්නයේ අස්වැන්නද ගබඩා කොට ගෙන සිටින නමුත් අනෙක් ගොවීන්ට සිදුවී තිබෙන්නේ ඉතා අඩු මිලකට තම අස්වැන්න විකුණා දැමීමට. මේ අතර සමහර පලාත්වල යල කන්නයේ අස්වනු නෙලීමද ආරම්භ වී තිබේ.

මේ තත්ත්වය යටතේ තම සංවිධානය ලබන බදාදා දිසා ලේකම්වරිය හමුවූ විට තම ප්‍රදේශයෙන්ද වී මිලදී ගන්නා මෙන් හමුදාවෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව, මඩකලපුව දිස්ත්‍රික් ගොවිජන සේවා සංවිධානයේ ලේකම් කේ තිරුනාවුකරසු පවසයි.

එම ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාරය පළ කරන බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, යුද හමුදාවේ පරිභෝජනය සඳහා මසකට වී කිලෝග්‍රෑම් ලක්ෂ විස්සක් පමණ අවශ්‍ය වන නමුත් දැනට ගොවීන්ගෙන් කෙලින්ම මිලදී ගනු ලබන්නේ නැගෙනහිර සහ උතුරු මැද පලාත්වල ස්ථානගත කොට සිටින සෙබළුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය පමණක් බවයි.

මඩකලපුවේ ගොවීන් කරන ඉල්ලීම පිළිබඳව තමන් වහාම අදාළ බලධාරීන්ට දැනුම් දෙන බවද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර