අතුරුදහන්වූ තරුණයන් පස්දෙනකු පිළිබඳව පරීක්ෂණ

අභියාචනාධිකරණය දුන් නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අතුරුදහන්වූ තරුණයන් පස්දෙනකු පිළිබඳව පරීක්ෂණ අද ආරම්භ කළේය.

අතුරුදහන්ව සිටින එම තරුණයන් පස්දෙනා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන්ගේ මවුපියන් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණ.

අතුරුදහන්ව සිටින 21 හැවිරිදි රජීව් නාගනාදන් නමැති තරුණයාගේ මෑණියන් වන සරෝජිනී නාගනාදන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ තම පුත්‍රයා 2008 වසරේ සැප්තැම්බර් මස 17 වැනිදා රාත්‍රී අතුරුදහන්වූ සෙසු තරුණයන් සමග නිවසින් පිටව ගිය බවයි.

එම තරුණයන් හතරදෙනා තම පුත්‍රයාගේ මිතුරන් බවත් කියා සිටි ඇය පසුදා තෙක් ඔවුන් නිවසට නොපැමිණි නිසා තමා කොටහේන පොලීසියට මෙන්ම තම පවුලේ හිතවතකුද වන අමාත්‍ය ෆීලික්ස් පෙරේරා වෙත පැමිණිලි කල බවද අධිකරණයට දන්වා සිටියාය.

යුද හමුදාවේ උසස් නිලධාරියකුට කතා කල ෆීලික්ස් පෙරේරා ඇමතිවරයා තම පුත්‍රයා හමුදා අත්අඩංගුවේ නොමැති බව කියාසිටියේ යැයි නාගනාදන් මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

2008 වසරේ නොවැම්බර් මාසයේ දිනක අතුරුදහන්ව සිටින තම පුතා දුරකථන මාර්ගයෙන් තමාට කතා කල බව කී සාක්ෂිකාරිය තමා නාවික හමුදා අත්අඩංගුවේ සිටින බවත්, සම්පත් මුණසිංහ සහ හෙට්ටිආරච්චි යන නාවික නිලධාරින් විසින් තමා පැහැරගෙන ගොස් සිටින්නේ යැයි පැවසූ බවත් අධිකරණය හමුවේ කියා සිටියාය.

සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළේ පසු දිනක චමින්ද නමැත්තකු දුරකතනයෙන් කථාකොට පුත්‍රයා නිදහස් කර ගැණීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ පහක මුදලක් රැගෙන නාරම්මල ප්‍රදේශයට එන මෙන් දැනුම් දුන් බවයි. එහෙත් තමා එහි නොගිය බව ඇය ප්‍රකාශ කළාය.

2008 වසරේ අතුරුදහන් වූ තම පුත්‍රයා 2009 වසරේ මැයි මාසයේ දිනක අවසන් වතාවට කථා කල බව කී සාක්ෂිකාරිය ඔහු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බව දැනුම් දුන්නේ යැයි කියා සිටියාය.

ඉන් අනතුරුව මේ දක්වා තම පුත්‍රයා පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නොලැබුන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියාය.

වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ලබන 26 දක්වා කල් තැබිණ.