තේරීම් කාරක සභාවට 'න්‍යාය පත්‍රයක් නෑ'

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සඳහා වන විසඳීම සාකච්ඡා කිරීමට රජය විසින් යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා න්‍යාය පත්‍රයක් සකස් වනු ඇත්තේ එහි පළමු රැස්වීමේ දී බව රජය ප්‍රකාශ කරයි .

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අද කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ, න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීම අත්‍යවශ්‍ය බවයි.

"වාඩි වුනාට පස්සේ න්‍යාය පත්‍රය හදාගන්න කතා කරනවා. ඉස්සෙල්ලා වාඩි වෙන්න එපා යැ. වාඩි වෙන්නේ නැතිව න්‍යාය පත්‍රයක් දීල වැඩක් නැහැනේ," යි අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ න්‍යාය පත්‍රයකින් තොරව සභාවක් රැස් වන්නේ කෙසේදැයි සංදේශය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ එකම අභිලාෂය පාර්ලිමේන්තුව තුලින්ම ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම බව රඹුක්වැල්ල අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අර්ථ විරහිත ක්‍රියාවකැ'යි අමාත්‍ය වරයාගේ පිළිතුරෙන් පැහැදිලි වන බවයි, විසඳීමකට එළැඹීම සඳහා රජයේ ඇති අවංක භාවය ප්‍රශ්න කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.

අනතුරු ඇඟවීමක්

"ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට වැඩ සටහනක්, න්‍යාය පත්‍රයක්, කාල සීමාවක් ලබා නොදෙන්නට තරම් රජය අද වගකීමෙන් තොරව ක්‍රියා කරලා තියෙනවා," යි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් දොස්තර ජයලත් ජයවර්ධන, රඹුක්වැල්ල අමාත්‍ය වරයාට ප්‍රතිචාර දක්වමින් සංදේශයට ප්‍රකාශ කළේ.

තේරීම් කාරක සභාවේ කාල රාමුව හා වගකීම් ලැයිස්තුව ප්‍රකාශ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි එජාප නියෝජ්‍ය මහලේකම් වරයා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා වන තේරීම් කාරක සභා ක්‍රියා දාමය බිඳ වැටුනොත් එහි වගකීම රජයට පැවරෙන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.

දමිළ ජාතික සන්ධානය මීට ඉහතදී ප්‍රකාශ කොට තිබුනේ ඉකුත් වසරේ බිඳ වැටුණු රජය සමග පැවැති ද්වි පාර්ශවික සාකච්ඡා නැවත අරඹා එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වීම කළ හැකි බවයි.

බලය බෙදීම වෙනුවෙන් දමිළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවක් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය නොලද තැනේදී යි, ද්වි පාර්ශවික සාකච්ඡා බිඳ වැටුනේ.

පාලන ව්‍යුහය, මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර බෙදෙන විෂය කාර්ය මෙන්ම බදු හා මූල්‍ය කටයුතු විමධ්‍ය ගත කිරීම පිලිබඳ යෝජනා තමන් රජයට ඉදිරිපත් කොට ඇති බවයි දමිළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ.