හම්බන්තොට වෙඩි ප්‍රහාරයකින් ජවිපෙ දෙදෙනකු මරුට

Gun Image copyright afp
Image caption මැර කණ්ඩායමක් ටී 56 ගිනි අවිවලින් රැස්වීමට සහභාගිවෙමින් සිටි පිරිසට දිගට හරහට වෙඩි තැබූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි

හම්බන්තොට ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

යතුරු පැදි හතරක හෝ පහක හෝ පැමිණි පුද්ගලයන් විසින් මේ වෙඩි තැබීම සිදු කර ඇති බවත් මිය ගිය දෙදෙනාගෙන් එක අයකු කාන්තාවක බවත් තවත් අයකු තුවාල ලබා සිටින බවත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.

සිද්ධිය වීමෙන් සුළු මොහොතකට පසු සංදේශය හා එක්වූ, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රදේශයේ තම පක්ෂ රැස්වීමක් ආරම්භ වීමත් සමග යතුරු පැදි හතරකින් පැමිණි මැර කණ්ඩායමක් ටී 56 ගිනි අවිවලින් රැස්වීමට සහභාගිවෙමින් සිටි පිරිසට දිගට හරහට වෙඩි තැබූ බවයි.

වටේටම වෙඩි තැබූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වෙඩි තැබීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු එම අවස්ථාවේදීම මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.

තවත් පිරිසක් තුවාල ලැබූ බවද කියා සිටි ඔහු මේ ප්‍රහාරය ප්‍රදේශයේ දේශපාලන තලය මත ක්‍රියාත්මක වන මැර කණ්ඩායමක් විසින් එල්ලකළ වෙඩි තැබීමක් ලෙස ඉතා පැහැදිලිවම ප්‍රදේශ වාසීන් විසින් දැන හඳුනාගෙන තිබෙන බව පැවසුවේය.