ෆොන්සේකාට අර්ධ සමාවක් දීම දේශපාලන කුමන්ත්‍රණයක් - සරත් සිල්වා

 ටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට අර්ධ සමාවක් දීමේ අරමුණ ඔහු දේශපාලන නුසුදුස්සෙකු බවට පත් කිරීම යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කියා සිටියි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැවති 'ජනරාල් වෙනුවෙන් රණවිරුවෝ' නමැති එකමුතුව අමතමින් මේ බව ප්‍රකාශ කල හිටපු අගවිනිසුරුවරයා, සරත් ෆොන්සේකාට සුදු කොඩි නඩුවෙන් පුර්ණ සමාවක් ලබා දුන්නත්, හයිකෝප් නඩුවෙන් අඩ වශයෙන් නිදහස් කිරීම මීට හොඳ උදාහරණයක් බවයි පවසන්නේ.

සරත් ෆොන්සේකාට සමාව දීමේ ක්‍රියාදාමය දේශපාලන අරමුණු මත පදනම් වුවක් යැයි පෙන්වා දෙන ඔහු "සම්පුර්ණ දඬුවම ඉවත් කළා නම් සරත් ෆොන්සේකා මැතිතුමාට අහිමි වූ දේශපාලන අයිතිවාසිකම් හිමි වෙනවා" යැයි ද සඳහන් ‍කළේය.

ශ්‍රී ලංකාවේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වනවාදැයි ප්‍රශ්න කරන හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොණු කළ පෙත්සම මේ වන තෙක් විභාගයට ගෙන නොතිබීම, රටේ නීතිය ක්‍රියාත්මක වන අන්දම පිලිබඳ ගැටළු මතු කරන බවද පැවසුවේය.

එම නඩුව මේ වනතෙක් විභාගයට නොගැනීම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් මෙන්ම මානව හිමිකම් කඩකිරීමක් බවයි හිටපු අගවිනිසුරුවරයා සඳහන් කලේ.

සභාව ඇමතූ හිටපු යුද හමුදාපතිවරයා, කොටි සංවිධානය පරාජය කළ රණවිරුවන්ට රාජපක්ෂ පාලනයෙන් නිසි ගෞරවය ලැබී තිබේදැයි ප්‍රශ්න කළේය.

'අපි වෙනුවෙන් අපි' සංවිධානයෙන් රණවිරුවන්ට ගෙවල් පනස් දහසක් ගොඩනගන බව කියා තිබුනත්, මේ වනවිට එම සංවිධානයෙන් ඉදිකර ඇත්තේ නිවාස 210 ක් යැයි පුවත් පතක පළකර තිබු බව පැවසු ඔහු, අපි වෙනුවෙන් අපි සංවිධානයට රුපියල් දශලක්ෂ 4250 ක් එකතු වී තිබෙන බව තමා හමුදාපති ධුරය දැරූ අවධියේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී දැනුම් දුන් බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව "එක නිවසකට රුපියල් මිලියන හතර බැගින් වියදම් කළත් නිවාස දහසක් රණවිරුවන්ට ඉදිකරදීමට තිබුනා" යැයි හිටපු හමුදාපතිවරයා කියා සිටියි.

යුද සමයට වඩා හමුදා සෙබළුන් වැඩි සංඛ්‍යාවක් අද යුද හමුදාව අතහැර යන බව සඳහන් කළ හිටපු හමුදාපතිවරයා රණවිරුවන් ඔවුන්ට නොතරම් කටයුතු වල යෙදවීම ඊට හේතුවක් වී ඇතැයිද චෝදනා කළේය.

විශ්‍රාමික සහ අබාධිත සෙබළුන් විසින් 'ජනරාල් වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානය පිහිටුවා ඇත්තේ හිටපු යුධ හමුදාපති වරයාගේ ඉදිරි දේශපාලන ගමනට සහාය දැක්වීම සඳහායි.