ලක්ෂ්මන් හුළුගල්ල අංජනමක් ඇරලද? - ජවිපෙ කටුවන දී

The woman and young man killed in the shooting (photo: Sri Lanka Mirror) Image copyright srilankamirror.com
Image caption එය තම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බව ඝාතනයෙන් පැය දෙකක් ගතව යාමටත් පෙර හුළුගල්ල නිවේදනය කළේ කෙසේදැයි ජවිපෙ විමසයි

හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සැක හැර දැනගත්තේ අංජනමක් ඇරලා දැයි එම පක්ෂය ප්‍රශ්න කරයි.

අද (ජුනි 18 සඳුදා) කටුවන දී පැවති විරෝධතා උද්ඝෝෂණයක් අවසානයේ ජනතාව ඇමතූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම වෙඩි තැබීම තම පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව ඝාතනයෙන් පැය දෙකක් ගතව යාමටත් පෙර ලක්ෂ්මන් හුළුගල්ල රජයේ රුපවාහිනිය ඔස්සේ නිවේදනය කළේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

"හුළුගල්ල සාස්තර අහලද වරදිකරුවෝ හොයා ගත්තේ? හුළුගල්ලලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඝාතනයේ ඇත්ත හවුල් කරුවන් වසන් කරන්න," මන්ත්‍රීවරයා පැවසීය.

ඝාතනයේ සැකකරුවා ගේ නමද සඳහන් කළ මන්ත්‍රී වරයා, ඝාතකයන් මේ වතාවේ "කෙසෙල් ගසට කොටා තිබෙන" බැවින් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බවද පැවසීය.

අධිකරණ නියෝගය

"ජූලම්පිටියේ අමරේ ඇතුළු මැර කල්ලිය තමයි, මේකට වගකියන්න ඕනේ," අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.

මියගිය කාන්තාවගේ සහ තරුණයාගේ ඝාතකයා කවුදැයි මන්ත්‍රීවරයා පැමිණ සිටි ආධාරකරුවන් ගෙන් විමසන අවස්ථාවේ ඔහු 'ජූලම්පිටියේ අමරේ' බව පවසමින් ඔවුහු කෑගැසූහ.

ඝාතනය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන මෑතදී ජනතා විමුක්ති පෙරමුණෙන් බෙදීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එම කාන්තාවගේ සහ තරුණයාගේ ඝාතනය පිළිබඳව පිළිබඳව ආණ්ඩුව වගකීම භාරගත යුතු බව අවධාරණය කොට තිබේ.

මේ අතර තංගල්ල පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, අද පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී නීති විරෝධී කටයුතු වලින් වැලකී සිටින මෙන් මියගිය දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්ට පසුගිය 16 වැනි සෙනසුරාදා නියෝගයක් නිකුත් කොට තිබේ.

අවමංගල්‍යය කටයුතු සිදුවන අද දින පෙළපාලි, රැස්වීම් අත්පති‍්‍රකා බෙදා හැරීම් සහ පොලිසියට පහරදීම ආදී සාමය කඩවීමේ කි‍්‍රයාවන් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය දැනුම් දී ඇති බව සඳහන් කරන අධිකරණය, මහජන සාමය කඩවන ආකාරයේ කි‍්‍රයාවන්වල හෝ මියගිය තැනැත්තන්ගේ දේහවලට අගෞරව වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසද නියෝග කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර