'තමිලිනීට දුන් සමාව අනෙක් දේශපාලන සිරකරුවන්ටත් දෙන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 24 ඉරිදා - 13:05 GMT
Thamilini

තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය

දැනට රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි.

නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය.

බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අවධාරණය කළේ, තමිලිනීට පමණක් නොව හිටපු එල්ටීටීඊ නායකයන් වන කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ ජෝර්ජ් මාස්ටර් ඇතුළු සියලු දෙනාට සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක්වීමට ආණ්ඩුව අවසර දීම ගැන තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැති බවයි.

ජනතා විමුක්ති පෙරමුණ

"දැන් විමල් වීරවංශ ඇමැතිතුමාත් කැරලිවලට සම්බන්ධ වෙච්ච, සංවිධානේ හිටපු අයනේ. ඉතින් ඒගොල්ලන්ට දුන් අවස්ථාව ඇයි අනිත් අයට දෙන්නේ නැත්තේ"

මනෝ ගනේෂන්

එල්ටීටීඊය පමණක් නොව, ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයන්ටද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමාව දී තිබෙන වාතාවරණයක් තුල කොටසක් පමණක් වසර ගනනාවක් රඳවා තබාගෙන සිටින්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

"දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බලන්න, සෝමවංශ අමරසිංහ මහත්තය. ජීවිත තර්ජන තියෙනවා කියල රටින් පැනල ගිහිල්ල දැන් ආපහු ඇවිල්ල දේශපාලනය කරනවා, බොහොම හොඳයි," මනෝ ගනේෂන් බීබීසී සංදේශයට පැවසීය.

මහින්ද විජේසේකර සහ නිමලසිරි ජයසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුව රටේ ප්‍රබල ඇමති තනතුරු පවා හෙබවූ බවද ඔහු පෙන්වාදේ.

"දැන් විමල් වීරවංශ ඇමැතිතුමාත් කැරලිවලට සම්බන්ධ වෙච්ච, සංවිධානේ හිටපු අයනේ. ඉතින් ඒගොල්ලන්ට දුන් අවස්ථාව ඇයි අනිත් අයට දෙන්නේ නැත්තේ?," ඔහු විමසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.