z-ස්කෝර් ලකුණු අවලංගු කරන්න: ශ්‍රේෂ්ඨාධිකරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 25 සඳුදා - 12:44 GMT
Sri Lanka Supreme Court

ලකුණු ක්‍රමය අවලංගු කෙරුනද පසුගිය උසස් පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵලය අවලංගු නොවන බව අධිකරණය තීන්දු කළේය

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට z-ස්කෝර් සරසවි කඩඉම් ලකුණු ලබාදීමේදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දැනට ප්‍රකාශිත ලකුණු අවලංගු කරන මෙන් නියෝග කළේය.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමාදයකින් තොරව සරසවි පිවිසීමට අවස්ථාව සලසනු වස් පැරණි සහ නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන් වෙන් වශයෙන් ලකුණු ගණනය කොට නොපමාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන මෙන්ද අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද z-ස්කෝර් ලකුණු අභියෝගයට ලක්කරමින් ලංකා ගුරු සංගමය සහ සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක තීන්දුව දෙමිනියි, ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ.

පසුගිය උසස් පෙළ විභාගයේදී පැරණි සහ නව නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් දෙපිරිසටම එකම නිර්නායකයක් යටතේ z-ස්කෝර් ලකුණු ගණනය කිරීම අසාධාරණ බව පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබිණ.

'සත්‍යය ජයගත්තා'

"මම මුල ඉඳලම කීව දේ තමයි දැන් කරන්න යන්නේ. මේගොල්ල අර ඕල්ඩ් සිලබස් නිවු සිලබස් එක්කහු කරා එක වැරදියි කියල උසාවියෙන් කිවුව"

z-ස්කෝර් ලකුණු ක්‍රමයේ නිර්මාතෘ මහාචාර්ය MA තටිල්

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය ඇමතූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් කියාසිටියේ, ලකුණු දීමේ ක්‍රමය වැරදි බව දිගින් දිගටම පෙන්වා දෙද්දීත් අමාත්‍යවරුන් දෙපොල ඇතුළු අධ්‍යාපන බලධාරීන් එය සාධාරණීකරණය කිරීමේ උත්සාහයක නිරත වූ බවයි.

එබැවින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමේ වගකීම අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් භාර ගත යුතු බවද සභාපතිවරයා පැවසීය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බීබීසී සංදේශයට විශේෂ ප්‍රකාශයක් කළ z-ස්කෝර් ක්‍රමයේ නිර්මාතෘවරයා වන මහාචාර්ය MA තටිල් කියා සිටියේ අධ්‍යාපන බලධාරීන් කුමක් කීවද දැන් සත්‍යය ජයගෙන ඇති බවයි.

"මම මුල ඉඳලම කීව දේ තමයි දැන් කරන්න යන්නේ. මේගොල්ල අර ඕල්ඩ් සිලබස් නිවු සිලබස් එක්කහු කරා එක වැරදියි කියල උසාවියෙන් කිවුව," ඔහු පැවසීය.

ලකුණු ක්‍රමය අවලංගු කෙරුනද පසුගිය උසස් පෙළ විභාගයේ සමස්ත ප්‍රතිඵලය අවලංගු නොවන බවයි, අධිකරණයේ තීන්දුව වූයේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.