වවුනියාව බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් තිහකට තුවාල

Police in front of Vavuniya Remand Priosn (photo: Dinasena Ratugamage)
Image caption පොලීසිය මෙම ප්‍රහාරය දියත් කළේ සිරකරුවන් විසින් රඳවාගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු නිදහස් කර ගැනීමේ අරමුණින්

වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා නිදහස් කර ගැනීම සඳහා පොලීසිය දියත් කළ මෙහෙයුමේදී සිරකරුවන් දස දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බලධාරීහු පවසති.

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) ගාමිණී කුලතුංග බීබීසී සංදේශයට කියා සිටියේ මෙම මෙහෙයුමේදී තුවාල ලැබූ බන්ධනාගාර නිළධාරීන් හත් දෙනෙකු ද වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඊට අමතරව පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිළධාරීන් හය දෙනෙකු සහ අසල පිහිටි පාසලක ළමුන් හය දෙනෙකුද මෙම ප්‍රහාරයේදී තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධක ඒකකය අද සිකුරාදා මෙම ප්‍රහාරය දියත් කළේ ඊයේ සිට සිරකරුවන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු නිදහස් කර ගැනීමේ අරමුණින්.

බූස්ස කඳවුරට මාරුකිරීම

වවුනියාවේ රඳවා සිටි එල්ටීටීඊ සැකකරුවන් තිදෙනෙකු ත්‍රස්ත මර්ධන ඒකකය විසින් බූස්ස රැඳවුම් කඳවුරට මාරු කිරීමට එරෙහිව සිරකරුවන් පසුගිය බදාදා උපවාසයක් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සිරකරුවන් විසින් ජේලර්වරුන් තිදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල නොකොට ඔවුන් නිදහස් කරගැනීමට බන්ධනාගාර නිළධාරීන් දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුවයි, ඒකාබද්ධ ප්‍රහාර දියත් කොට තිබෙන්නේ.

මෙම සිදුවීමෙන් අනතුරුව වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙසිය එක් දෙනාම අනුරාධපුර බන්ධනාගාරයට මාරුකොට යවා තිබේ.

සිරකරුවන් ගෙන් මුදාගත් බන්ධනාගාර නිළධාරීන් තිදෙනාද අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කොට තිබේ.