ආරක්ෂක ලේකම් සන්ඩේ ලීඩර් කතුවරියට තර්ජනය කරයි

Gotabhaya Rajapaksa
Image caption 'එයා ගොඩක් අපහාස විදියට බනින්න පටන් ගත්තා. කුණුහරුපෙන් බැනල කිවුව මම මේ අසූචි කන ඌරෙක් වගේ කියල'

ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර සිට බලු පැටවෙකු ගෙන්වා ගැනීම සඳහා මගීන් 56 දෙනෙකුගේ ගමන් සැලසුම් වෙනස්කරමින් කුඩා ගුවන් යානයක් යොදවා ගැනීමට දැරූ උත්සාහය පිළිබඳව ප්‍රශ්න කළ වේලේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන්ට තර්ජනය කළ බව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය පවසයි.

අදාල බලු පැටවා ගෙන්වා ගැනීම පිණිස ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රවීන් විජේසිංහ නම් ගුවන් නියමුවෙකු කපිතාන් වරයෙකු තෝරාගෙන තිබුණු බවත්, ඔහුට සුදුසුකම් තිබුනේ A 330 වර්ගයේ ගුවන් යානා පැදවීමට පමණක් බැවින් අදාල ගමනට යෝජිතව තිබූ A 340 ගුවන් යානය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවයේ සාමාන්‍යාධිකාරී කපිල චන්ද්‍රසේන බලපෑම් කොට තිබුණු බවත් සන්ඩේ ලීඩර් පුවත්පතට සැලවූ බව ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ වුවද අදාල සැලසුමට ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය ප්‍රබල විරෝධය පලකරන ලද බවත් ඇය පවසන්නීය.

"මම ඇත්තටම හිතුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේක දන්නේ නැතුව ඇති කියලා. මම කථාකෙරුවේ එයාගෙන් අහන්න එයා ඒක දන්නවද කියන ඒක අහන්නත් ඒ ගැන එයාගේ ප්‍රතිචාරය දැනගන්නත්," කතුවරිය කීවේය.

'මරණ තර්ජන'

ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් මුලින්ම පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ඇම තූ වේලේ තමන් එම බලු පැටවා රැගෙන ඒමට සැලසුම් කළ බව ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබේ.

"එහෙම කියන ගමන් එයා ගොඩක් අපහාස විදියට බනින්න පටන් ගත්තා. කෑගැහුවා. මට කුණුහරුපෙන් බැන්න. කුණුහරුපෙන් බැනල කිවුව මම මේ අසූචි කන ඌරෙක් වගේ කියල. ඒකත් කිවුවේ බොහොම බාල විදියට," ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් බීබීසී සංදේශයට පැවසුවාය.

මෙම සිදුවීමට පෙරාතුව තමන් සහ ආරක්ෂක ලේකම්වරයා අතර මිත්‍රශීලී සම්බන්ධතාවයක් පැවති බව පිළිගත් කතුවරිය, මීට සති කිහිපයකට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළමු වතාවට සන්ඩේ ලීඩර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ආකාරයද සිහිපත් කළාය.

සිකුරාදා දිනයේ තමන් යලිත් වරක් ආරක්ෂක ලේකම්වරයා ඇමතුවේ තමන් අදාල සිදුවීම පිළිබඳව පුවත්පතේ වාර්තා නොකරන නමුත් එසේ නොකරන්නේ ඔහුගේ තර්ජනයට බියපත්ව නොවන බව දැනුම් දීමට බවත් සඳහන් කරන කතුවරිය, එම දුරකථන ඇමතුම ගන්නා අවස්ථාවේ මාධ්‍යවේදී වරුණ කරුණාතිලක සහ සමාගමේ හිමිකරු ලාල් වික්‍රමතුංගත් තමන් සමඟ සිටි බවත් සඳහන් කරයි.

"එයා මට අපහු කුණුහරුපෙන් බැන බැන ගියා. මාව මරයි කිවුව, එතකොට මම ඇහුව ඔයා කියලද මරන්නේ කියල නැහැ මිනිස්සු ඔයාව මරයි කියල කිවුව. අමු කුණුහරුපෙන් බැන්න," ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් වැඩිදුරටත් සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිචාරය ලබාගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර