ශිෂ්‍ය දඩයමට 'ශිෂ්‍යයන්ම යොදාගැනීමේ සැලසුමක්'

University of Ruhuna Image copyright Students Union of Universtity of Ruhuna
Image caption මේ වසරේද සිදුවීම් පෙළගැසීම 'අවාසනාවන්ත ගමනක ආරම්භය' වියහැකි බවට ශිෂ්‍ය නායකයෝ අනතුරු අඟවති

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන අවුල් සහගත තත්ත්වයට එරෙහිව හඬනගන ශිෂ්‍යයන් සහ ශිෂ්‍ය සංවිධාන මර්දනය කිරීම සඳහා අදාල විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ම යොදාගැනීමේ ක්‍රියාදාමයක් දියත් වී තිබෙන බවට රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අනතුරු අඟවයි.

අධ්‍යාපන බලධාරීන් විසින් මේ සඳහාම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500 ක් තෝරාගෙන බදුල්ලේ ඌව විශ්ව විද්‍යාලයේදී පුහුණුවක් ලබාදී තිබෙන බවද ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ශිෂ්‍යයන් පිරිසකට විශේෂ වරදානයන් ලබාදී "ඔවුන්ගේ මැදිහත්වීමෙන් ඇතිකරන ගැටුම්වල වගකීම සාමාන්‍ය අහිංසක සිසුන් මත පැටවීම," බලධාරීන්ගේ සැලසුම බව පවසන රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය, මෑතදී විශ්ව විද්‍යාල සිසුවෙක් ආචාර්යවරුන්ද බලාසිටියදී පිහියක් අතින් ගෙන ජ්‍යෙෂ්ට සිසුන්ට තර්ජනය කිරීම මෙම ක්‍රියාදාමයේ ආසන්නතම අවස්ථාව බවද සඳහන් කරයි.

පසුගිය වසරේ රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් 18 දෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් ආරම්භ වූ අර්බුදය කෙළවර වූයේ සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයා ඝාතනයට පත්වීමෙන් බව පෙන්වාදෙන ශිෂ්‍ය නියෝජිතයෝ මේ වසරේද සිදුවීම් පෙළගැසෙමින් තිබෙන්නේ එවැනි වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා විය හැකි බවට අනතුරු අඟවයි.

"තමන් කරන සියලු අපරාධයන් තමන් විසින් මාධ්‍ය තුල මවන බිල්ලකු වෙත පටවා ඒ බිල්ලා තමන්ට එරෙහි සටන් කරන බලවේග හා සමපාත කර ඒවාට එරෙහිව කරන මර්දනය සාධාරණීකරණය කරගැනීම පාලකයන්ගේ කුප්‍රකට උපාය," බවද ශිෂ්‍ය නායකයෝ පවසති.