ඉන්දීය සඟරාවේ භට සංඛ්‍යා තොරතුරු අසත්‍යයි - යුද හමුදාපති

Image copyright Sri Lanka Army

යාපනය ප්‍රදේශයේ ජනගහණය ලක්ෂ පහක් බවත් එහි රඳවා සිටින යුද හමුදා භටයන්ගේ සංඛ්‍යාව දස දහසක් බවත් පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය Economic and Political Weekly ඉන්දීය සඟරාව සඳහන් කරන භට සංඛ්‍යා තොරතුරු ප්‍රතික්‍ෂේප කරයි.

උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව තමන් විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිවී තිබෙන බව Economic and Political Weekly සඟරාවට ලිපියක් සපයන විශේෂ වාර්තාකරුවෙක් විසින් සඳහන් කොට තිබිණ.

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයාගේ, ආණ්ඩුවේ සහ හමුදා වෙබ් අඩවිවල පලවූ තොරතුරු විශ්ලේෂණය කරමින් එම සඟරාව තවදුරටත් සඳහන් කොට තිබුනේ අඩු තරමින් හමුදා භටයන් එක් ලක්ෂ අනූ අට දහසක් (198,000) වත් එහි රඳවා සිටින බවයි.

යුද හමුදාවත් උතුරේ ජනතාවත් අතර ශ්‍රේෂ්ට සම්බන්ධයක් පවතින බව පැවසූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, හමුදාවට ඉවත්වන ලෙස උතුරේ සාමාන්‍ය ජනතාව කිසිවිටකත් ඉල්ලා නොසිටිනු ඇතැයිද ප්‍රකාශ කළේය.

හමුදාව කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටින උතුරේ ජනතාව ඕනෑම ප්‍රශ්නයකදී පොලීසිය හෝ දිසාපතිවරයා හෝ වෙත නොගොස් ලගම ඇති කඳවුරට පැමිණෙන්නේ හමුදාව කෙරෙහි ඇති විශ්වාශය නිසා යැයි, යුද හමුදාපතිවරයා පැවසීය.

යුද්ධය අවසන් වීමත් සමග සාමය ඇතිකිරීම සඳහා රදවා සිටි යුද හමුදාව සාමය ඇතිවීමත් සමග සීමා කරමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, යුද්ධයේදී ලත් අත්දැකීම් බෙදා හදා ගැනීමේ ජාත්‍යන්තර සමුළුවක් යුද හමුදාව විසින් දෙවැනි වරටත් සංවිධානය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවසීය. රටවල් විශාල ගණනක් ඊට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළකොට ඇති බවත් යුද හමුදාපතිවරයා තවදුරත් ප්‍රකාශ කළේය.