අතුරුදහන් පුතා පස් වසරකින් හමුවුයේ සිහි නැතිව සිටියදී

Image caption වවුනියාව සිරගෙදරින් ගිය මස අගදී අනුරාධපුර රෝහලට ගෙනා සිරකරුවෙක්

නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ, අතුරුදහන් ව සිටි තම පුත්‍රයා පස් වසරකින් අනතුරුව හමු වූයේ පහර කා සිහි මුර්ඡාවෙන් සිටියදී යැයි මන්නාරමේ මාතාවක් පවසන්නීය.

මන්නාරමේ ඉලුප්පයිකඩවෙයි හි මුතුරාසා රීසා පවසන පරිදි, 2007 දී ආගිය අතක් නැතිව සිටි 29 හැවිරිදි පුත්‍රයා ඇය දැක ඇත්තේ රාගම රෝහලේ ඇඳක හොවා සිටියදී. ඒ ඉකුත් 10 වැනි අඟහරුවාදා.

හිස වෙළුම් පටි වලින් වෙලා ඇති සිහි සුන් සිය පුත් මුතුරාසා දිල්රුක්ෂන් ගේ බෙල්ල, පපුව හා කකුල් තුවාල වී ඇති අයුරු තමන් දුටු බවයි මව රීසා බී බී සී යට කියා සිටියේ.

ඔහු තුවාල ලබා ඇත්තේ බරපතල ලෙස පහර දීම නිසා බවයි ඇගේ අදහස.

තම දරුවා ලබන ප්‍රතිකාර පිළිබඳව සැහීමකට පත් විය නොහැකි බව කී ඇය ප්‍රකාශ කළේ, අසාධ්‍ය තත්ත්වයක පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයක රඳවනු වෙනුවට දැඩි රැකවල් මැද සාමාන්‍ය වාට්ටුවක මාංචු ලා සිටින බවයි.

කොළඹට ගෙනයනු ලැබූ එල් ටී ටී ඊ සැකකරුවකු ආපසු ගෙන එන ලෙස බල කරමින් වවුනියාව සිරගෙදර සිරකරුවන් විසින් ඇපයට ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ගිය මස අගදී ප්‍රහාරයක් දියත් කොට මහර බන්ධනාගාරයට ගෙන එනු ලැබූ සිරකරුවන් 31 දෙනකු අතුරින් එක් අයෙක් දිල්රුක්ෂන්.

2007-2012

දිල්රුක්ෂන් 2007 දී ශ්‍රී ලංකා නාවුක හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මගින් විදේශ ගත වීමට දැරූ උත්සාහයකදී. තම පුතු කලින් සේවය කළ මැද පෙරදිග බලා යාමට එල් ටී ටී ඊ ය අවසර නුදුන් හෙයින් ඔහුට මුහුදු මග ගන්නට සිදුවූ බවයි මව කියා සිටින්නේ.

මුතුරාසා රීසා මව පවසන පරිදි, අත් අඩංගුවට පත් වී මසකින් පුතා ගෙන් ලද ලියුමක සඳහන් වී තිබී ඇත්තේ ඔහු කලිමොට්ටෙයි හි හමුදා කඳවුරක රඳවා තබා සිටින බවයි. එල් ටී ටී ඊ පාලන ප්‍රදේශයේ සිටි තමනට හමුදා පාලන ප්‍රදේශයට යාමේ ඉඩක් නොතිබූ අතර යුද්ධය ඇවිළී යාමත් සමගින් උන් හිටි තැන් අහිමිවී තැනින් තැන පළා යන්නට සිදුවූ බව රීසා මව ප්‍රකාශ කළාය.

එල් ටී ටී ය යුද්ධයෙන් පරදවා ලූ බව රජය විසින් ප්‍රකාශයට පත් කැරුණු 2009 දී ඇය ඉඳ ඇත්තේ මැණික් ෆාම් යුද අනාථ කඳවුරේ.

මැණික් ෆාම් කඳවුරත් තම ගම් බිම් පිහිටි මන්නාරමේ ඉලුප්පයිකඩවෙයිත් අතර පිහිටි කලිමොට්ටෙයි හි තාවකාලික කඳවුරක් වෙත ඇය ඇතුළු පිරිසක් ගෙන ගොස් ඇත්තේ 2009 අගදී.

ඒ ගිය අවස්ථාවේදී සොයා බැලූ විට කලින් පිහිටි කලිමොට්ටෙයි හමුදා කඳවුර නොතිබූ බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

එතැන් පටන් මුතුරාසා රීසා පොලිසියට, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හා මානව හිමිකම් කොමිසමට දිල්රුක්ෂන් සොයා දෙන ලෙස ඉල්ලා පැමිණිලි කොට තිබේ.

ඔහු ඉන්නා තැනක් පස් වසරකට පසු මවට දැන ගන්නට ලැබී ඇත්තේ වවුනියා බන්ධනාගාරයෙන් ගෙනවුත් රාගම රෝහලට ඇතුලත් කරන ලද තුවාල කරුවන්ගේ තොරතුරු දෙමළ පුවත් පතක දැකීමෙන් පසුවයි.

වවුනියාවේ සිරගෙදර බන්ධනාගාර නිලධාරීන් මුදා ගැනීම සඳහා රජයේ සන්නද්ධ අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් මේ වනවිට එක් තරුණයෙක් මියගොස් තිබේ.