ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට තැත්කළ තවත් බෝට්ටුවක් අත් අඩංගුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 15 ඉරිදා - 14:30 GMT
Asylum seekers in Australia

ශ්‍රී ලාංකිකයන් 1350 දෙනෙකු මේ වසරේ බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ලඟා වූ බව බලධාරීහු පවසති

නීති විරෝධී ලෙසින් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමේ අරමුණින් මගීන් එකසිය තිහක් ද රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත් වූ බෝට්ටුවක් අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

ඕස්ට්‍රේලියාවේ සැප පහසු ජීවිතයක් උදා කර දෙන බවට පොරොන්දු දෙන ඒජන්තවරුන්ට යලිත් වරක් මේ ශ්‍රී ලාංකිකයන් පිරිස හසුවී තිබෙන බවයි, පෙනී යන්නේ. මේ අය අතරින් අති බහුතරය දෙමළ ජාතිකයන්.

අන් අවස්ථාවලදී මෙන්ම මේ වතාවේත් ඔවුන් මුහුදු ගත වූයේ හිසට සෙවනක් හෝ ප්‍රමාණවත් ආහාර හෝ ජලය පමණක් නොව හැරෙන්නට පවා ඉඩකඩ නැති ඉතා කුඩා බෝට්ටුවලින්.

මෙසේ යාත්‍රා කිරීමට උත්සාහ දැරූ 127 දෙනකු ඊයේ සෙනසුරාදා සිට මේ දක්වා අත් අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී යට කියා සිටියේ.

උඩප්පුව ධීවර ගම්මානය

මේ අතරින් 109 දෙනකු නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා විට අඩුම තරමින් ඔවුන් දින දෙකක්වත් මුහුදේ ගතකොට තිබේ. ඒ අය අතරින් අටදෙනෙක් සිංහල ජාතිකයන්.

වඩා සැප පහසු ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මෙසේ රටින් පලා යන්නන් පිලිබඳ ශෝචනීය වාර්තාවක් පසුගියදා සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කොට තිබුණි.

බටහිර වෙරළබඩ උඩප්පුව ධීවර ගම්මානයේ සිය ගණනක් පුරුෂයන් රට හැර යාමෙන් අනතුරුව, ඔවුන් ඕස්ට්‍රේලියාවට ලඟා වන්නේ කවදා දැයි බිරින්දෑ වරුන් මඟ බලා සිටියදී ගමේ ධීවර මුහුදු වෙරළේ ගොඩ ගසා තිබෙන බවයි, පුවත්පත පවසන්නේ.

තම සැමියා ඒජන්තවරයාට ඩොලර් අටදහසක මුදලක් ගෙවූ බව එක් කාන්තාවක පවසා තිබිණ.

ධීවර කර්මාන්තයෙන් ලැබෙන ආදායම බිඳ වැටීම, මූල්‍ය දුෂ්කරතා සහ විශේෂයෙන්ම යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවල අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙසේ ජනතාව රටින් පලා යාමට ප්‍රධාන හේතූන් බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටවීමට තැත්කළ දෙසිය පණහකට අධික පිරිසක් පසුගිය සතිය ඇතුලත පමණක් අත් අඩංගුවට පත්වී සිටින අතර, මේ වසර තුල පමණක් මෙවැනි බෝට්ටු 470 ක් අල්ලා ගත් බවයි, බලධාරීන් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.