අමාත්‍ය තොණ්ඩමන්ගේ පක්ෂය සබරගමුවට දෙමළ සන්ධානයකින්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 15 ඉරිදා - 12:12 GMT
Minister Thondaman

ජනාධිපතිවරයා ද තම තීරණයට එකඟත්වය පළ කළ බව ඇමතිවරයා පවසයි

එළැඹෙන සබරගමුව පළාත් සභා මැතිවරණයේදී ඉන්දීය සම්භවයක් සහිත දෙමළ පක්ෂ දෙකක් සමග සන්ධානයකින් තරඟ වදින බව ලංකා කම්කරු සංගමය (CWC) පවසයි.

මනෝ ගනේෂන් ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (DPF) සහ හිටපු අමාත්‍ය පී චන්ද්‍රසේකරන් විසින් පිහිටුවන ලද උඩරට ජනතා පෙරමුණ (UPF) සමග එක්ව සබරගමුව පළාතේදී පමණක් මැතිවරණයට තරඟ කරන බවයි, කම්කරු සංගමයේ නායක අරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා කියා සිටියේ.

අදාළ නාම යෝජනා ජුලි 16 වැනි දින භාරදෙන බවද අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාෂ් නල්ලුසාමිට ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ විරෝධය පළ නොකළේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, සබරගමුව පළාත පුරා වතු දෙමළ ජනතාව විසිරී සිටින බැවින් ප්‍රධාන පක්ෂයක් සමග තරඟ කලේ නම් තමන් අපහසු තත්ත්වයකට මුහුණ දීමට ඉඩ තිබූ බව වටහා දුන් විට ජනාධිපතිවරයා තම තීරණයට එකඟත්වය පළ කළ බවයි.

පසුගිය ජුනි 27 වැනිදා විසුරුවා හැරුණු නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා විසින් එම පළාත් සභා තුනම විසුරුවා හැරුනේ නියමිත කාලයට මාස ගණනාවකට කලින්.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය නිමාවීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ පවත්වන ලද පළමු පළාත් සභා මැතිවරණයෙන් සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගේ නායකත්වයෙන් යුත් ටීඑම්වීපීය ජයග්‍රහණය කළ අතර, උතුරු පළාත සඳහා මැතිවරණය මෙතෙක් පවත්වා නැහැ.

උතුරු පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බරයට පෙර පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා ඉන්දියාවේ හින්දු පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.