මුස්ලිම් කොන්ග්‍රසය යළිත් 'තනිවම'

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය Image copyright slmc

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභාව සඳහා තරඟ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කියා සිටියි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ නැගනහිර පළාත් සභාවට තරඟ කරන බවයි මීට පෙර මුස්ලිම් කොන්ග්‍රසය කියා සිටියේ. ඒ පොතුවිල් හි පැවති පක්ෂයේ දෙදින නියෝජිත සමුළුවකින් පසු.

මුස්ලිම් බහුතරයක් සිටින නැගෙනහිර පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන හෙයින් තනිව තරඟ වැදීමට තීරණය කළ බවයි මුස්ලිම් කොන්ග්‍රසය බදාදා කියා සිටියේ.

තම පක්ෂයේ අලුත්ම තීරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුමැතිය ලැබුන බව මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික සංවිධායක ශෆික් රජාබ්දීන් සංදේශයට ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තනියම තරඟ කරන්න සුදානම්," යයි ඔහු පැවසුවේය.

තමන් තනිව තරඟ කළත් ආණ්ඩුව සමග ඉදිරියේදී සුහදව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මුස්ලිම් කොන්ග්‍රසය පවසන්නේ.

"ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මුස්ලිම් ඡන්ද ලැබීම වැලක්වීමේ අරමුණින් මුස්ලිම් කොන්ග්‍රසය මෙවැනි තීරණයක් ගෙන ඇතැයි," මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහමන් පෙන්වා දෙයි.

"හකීම් මහතා ආණ්ඩුවෙන් වෙන්වුනාට එතුමා මේ කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් බව මුස්ලිම් ජනතාව තේරුම් ගත යුතු," යයි ඔහු බී බී සී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු කළ විමසීමකදී කියා සිටියේය.

නැගෙනහිර පළාතට තනි මුස්ලිම් බලවේගයක් ලෙස තරඟ කළ යුතු බවට කොළඹ මහ නගර සභා මන්ත්‍රී අසාද් සාලි ඉදිරිපත් කළ අභියෝගය හමුවේ මුස්ලිම් කොන්ග්‍රසය මෙම තීරණය නොගත් බව ප්‍රකාශ කරන ජාතික සංවිධායක ශෆික් රාජාබ්දීන් තමන් 'රට වටේම තිබෙන සුළු ජාතික ප්‍රශ්න හිස මත තබාගෙන' ගමින් ගමට නොයන බවද ප්‍රකාශ කළේය.

සියලු මුස්ලිම් පක්ෂ එක්සත්ව මුස්ලිම් පෙරමුණකින් නැගෙනහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සාකච්ඡා පැවති බවද කොළඹ මහ නගර සභා මන්ත්‍රී අසාත් සාලි මාධ්‍ය නිවේදනයකින් දැනුම් දී තිබුණි.

එම රැස්වීම සඳහා ප්‍රධාන මුස්ලිම් පක්ෂ තුනේම නියෝජිතන් සහ ඉස්ලාම් ආගමික නායකයන් සහභාගී වී තිබේ.

තමන් වෙනම කණ්ඩායමක් ලෙස මැතිවරණයට තරඟ කළ යුතු බවට එකඟතාවක් රැස්වීමේදී ඇති කරගත් බව සංදේශයට ප්‍රකාශ කළ නාගරික මන්ත්‍රී සාලි මුස්ලිම් කොන්ග්‍රසය සම්මුතිය කඩ කළ බවට චෝදනා කරමින් අඟහරුවාදා කියා සිටියේ තමන් මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ස්වාධීන කණ්ඩායමක් නැගෙනහිරට ඉදිරිපත් කරන බවයි.

වෙනම තරඟ කරන බව මුස්ලිම් කොන්ග්‍රසය විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තමනුත් ඒ කණ්ඩායම හා එක්ව තරඟ කරන බව අසාද් සාලි ජනමාධ්‍ය වලට කියා තිබුණි.

නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා භාර ගැනීම හමාර වීමට නියමිතව ඇත්තේ මේ බ්‍රහස්පතින්දා.