බන්ධනාගාරයේදී පහර කෑ සිරකරුවන් 'මැරෙන්න දාලා'

A Tamil prisoner after the attack (file photo)
Image caption 'පහර දීල දැන් මරණාසන්නව ඉන්න හිරකරුවන්ට දෙන්නේ ඩිස්ප්රීන් පෙත්තයි පැනඩෝල් පෙත්තයි විතරයි'

තමන්ට ලැදි දේශපාලන සිරකරුවන් පමණක් නිදහස් කරමින් අනෙක් සිරකරුවන් දිගටම රැඳවුම් භාරයේ තබා ගන්නා බවට මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරති.

සිංහල දේශපාලන සිරකරුවන්ට ලැබුණු නිදහස දෙමළ ජාතිකයන්ට නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඔවුහු විශේෂයෙන්ම බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වුණු දෙමළ සිරකරුවන්ට රෝහලේදී නිසි ප්‍රතිකාර පවා නොලැබෙන බවටද බරපතල චෝදනාවක් එල්ල කරති.

මානව හිමිකම් ක්‍රියාකාරී කමිටුව මේ චෝදනා එල්ල කළේ රැඳවුම් භාරයේ පසුවන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කරමින් මහජනයාගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹදී ආරම්භ කරමින්.

"කරුණා අම්මාන්ට නිදහස ලබාදීල තියෙනවා, පිල්ලෙයාන්ට ලබාදීල තියෙනවා, කේපී ට ලබාදීල තියෙනවා," කමිටුවේ ප්‍රධානියෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසීය.

මේ අතර අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 1971 දී සහ 1989 දී දුන් සමාව දෙමළ දේශපාලන සිරකරුවන්ට ලබා නොදීම දෝෂ දර්ශනයට ලක් කළේය.

"ඒ අය අද ඔක්කොම මේ ආණ්ඩුව කියනවා පුනරුත්ථාපනය කරන්න ඕන කියල. අපි අහනවා කොළඹ ඉන්න හිරකරුවෝ බූස්සට ගෙනියන්නේ පුනරුත්ථාපනයටද?. ඒ පුනරුත්ථාපනය වවුනියාවේ හිටපු සිරකරුවන්ට ලැබිච්ච පුනරුත්ථාපනයද," ඔහු ප්‍රශ්න කළේය.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය පවසන්නේ වවුනියාව බන්ධනාගාරයේදී තුවාල ලැබූ සිරකරුවන්ට ආණ්ඩුව නිසි ප්‍රතිකාර ලබා නොදෙන බවයි.

"පහර දීල දැන් මරණාසන්නව ඉන්න හිරකරුවන්ට දෙන්නේ ඩිස්ප්රීන් පෙත්තයි පැනඩෝල් පෙත්තයි විතරයි. මැරෙන්න දාල තියෙන්නේ ආණ්ඩුව බලා ඉන්නවා මැරෙනකන්," බව ඔහු පවසයි.