වතුකරයේ ඉඩම් බෙදාහැරීම 'පැහැදිලි නෑ'

Sri Lanka plantation workers (file photo)
Image caption 'ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ'

වතුකරයේ වගා නොකැරෙන ඉඩම් පවරාගැනීමෙන් අනතුරුව ඒවා බෙදා හැරෙන ආකාරය පිලිබඳව රජය කරුණු පැහැදිලි කොට නැතැයි වතුකරයේ වෘත්තීය සමිතියක් පවසයි.

ඉකුත් අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉඩම් අක්කර දහස් ගණනක් පවරා ගැනීමට පියවර ගන්නා බවයි.

ඉඩම් වෙන්කිරීම සඳහා රජය නුවරඑලියට මේ වනවිටත් නිලධාරීන් එවා ඇතැයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළ හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය වී පුත්‍රසිගාමනි, වතුකරයේ ජනතාවට ඒ ඉඩම් වලින් ඉදිරියේදී ප්‍රතිපලයක් අත්වේදැයි සොයා තොරතුරු හෙළි කිරීමේ වගකීම වතුකරයෙන් තේරී පත්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වගකීමක් බව කියා සිටියේය.

බඹරගල වත්ත

උදාහරණයක් ලෙසින් නුවරඑළියේ බඹරගල වත්තේ අක්කර එකසිය හැට තුනක් පමණ ලබන සතියේ ආණ්ඩුව විසින් බෙදා වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සැලවී ඇති බවයි, ඔහු පවසන්නේ.

"එතන පවුල් දෙසිය විසි එකක් පමණ සිටිනවා, ලයින් කාමර තියනවා අනූ හතරක් විතර අනිත් ඒවා ඔක්කොම කූඩාරම් ගහගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සු එතන රැකියාවත් කරනවා," බව හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

"ඉතින් මේ ඉඩම් ඔක්කොම පවරාගෙන බෙදල දුන්නොත් මේ ජනතාවට මොකද වෙන්නේ කියල පැහැදිලි නෑ," බවයි, ඔහු පවසන්නේ.

තමාගේ ප්‍රයත්නය ආණ්ඩුවේ සංවර්ධන වැඩ කටයුතු හෝ ඉඩම් බෙදා දීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට දැරෙන උත්සාහයක් නොවන බව පවසන වී පුත්‍රසිගාමනි, එය හුදෙක් එම වැඩපිළිවෙල නිසා දුෂ්කරතාවලට මුහුණදෙන ජනතාව මතුකරන ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමේ උත්සාහයක් පමණක් බව අවධාරණය කරයි.