නැවියන් මුදා හැරීමට එක් කෝටි හතලිස් ලක්ෂයක කප්පමක් ඉල්ලති

A Somali pirate Image copyright AFP
Image caption ශ්‍රී ලාංකික නැවියන් හත් දෙනකු 2010 වසරේ සිට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගේ අත් අඩංගුවේ පසුවන බව එක් නැවියකු ගේ බිරිඳ පවසයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත් අඩංගුවේ පසුවන නැවියන් බේරා ගැනීම සඳහා මුදලින් ආධාර කරන මෙන් ඔවුන්ගේ ඥාතීහු ශ්‍රී ලංකා වාසීන් ගෙන් ඉල්ලීමක් කරති.

කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමා ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දීයි, එම ඉල්ලීම කෙරුණේ.

එහිදී අදහස් දැක්වූ අත් අඩංගුවේ පසුවන නාවිකයෙකු ගේ බිරිඳ වන විලාසිනී වක්වැල්ල පැවසුවේ සිය සැමියා ඇතුළු ශ්‍රී ලාංකික නැවියන් හත් දෙනකු 2010 වසරේ සිට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගේ අත් අඩංගුවේ පසුවන බවයි.

ඔවුන් නිදහස් කිරීම සඳහා කොල්ලකරුවන් රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා සිටින බව ද ඇය පවසන්නීය. කෙසේ වුවත් නැවියන් පිරිස සේවය කළ මැලේසියානු සමාගම ඔවුන් ගේ ඉරණම අමතක කොට දමා ඇතැයිද විලාසිනී වක්වැල්ල සඳහන් කරන්නීය.

"මහත්තය කියල තිබුන මගේ මේ ඇඟිල්ලකුත් කැපුව, අපේ කන ගාවින් යන්න වෙඩි තියනවා මුන්, හැම තිස්සෙම බුදියගෙන ඉන්න ඕනේ නැගිටලා වත් යන්න දෙන්නේ නෑ දවසකට එක වතුර බෝතලයයි දෙන්නේ හැමදේකටම," ඇය පැවසීය.

කොල්ලකරුවන්ගේ අත් අඩංගුවේ පසුවන නැවියන් පිරිස බේරාදීම සඳහා මැදිහත් වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බව පවසන ඇය, ඒ සඳහා මැදිහත් කරුවෙකු පත් කරන මෙන් විදේශ අමාත්‍යාංශයෙන් ද ඉල්ලීමක් කරන්නීය.

යාපහුව රජ මහ විහාරයේ විහාරාධිපති මීගම්මන ශ්‍රී රත්න හිමියෝ ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.