මුහුදුබත් නැවේ තෙල් කාන්දුව පිරිසිදු කිරීමට හමුදාව යෙදැවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 24 සිකුරාදා - 14:33 GMT
Thermopylae Sierra ship

එහි තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් හටගත් මතභේදයක් මත නෞකාව වසර තුනකට අධික කාලයක් නැංගුරම් ලා තිබුණි (ඡායාරූපය ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙන්)

පානදුර ආසන්නයේදී මුහුදුබත් නැවෙන් කාන්දු වූ තෙල් පිරිසිදු කිරීම සඳහා හමුදාව යෙදවීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගෙන තිබේ.

එහි තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් හටගත් මතභේදයක් මත එම නෞකාව වසර තුනකට අධික කාලයක් පානදුර අසල මුහුදේ නැංගුරම් ලා තිබුණි.

සයිප්‍රසයේ ලියාපදිංචි කොට තිබෙන තර්මොපිලේ සියෙරා නම් මෙම නෞකාව මුහුදුබත්වීම නිසා කිලෝමීටර දහයක පමණ ප්‍රදේශයක තෙල් පැල්ලමක් හටගෙන ඇති බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.

එහි ගෙනයමින් තිබූ තෙල් ටොන් හයසීයෙන් තෙල් ටොන් පන්සිය තිහක් දැනටමත් ඉවත් කොට ගෙන ඇති බව පවසන බලධාරීහු එහි ඉතිරිව තිබුනේ ටොන් හැත් තෑවක් පමණක් බවද පවසති.

'අවදානමක්'

තෙල් කාන්දුව මුහුද ඇතුලට බටහිර දෙසට ගලා යමින් තිබෙන බව පැවසූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි, කෙසේ වුවත් මීගමුව වෙරළ දෙසට ද කාන්දුවෙන් කොටසක් පාවෙමින් තිබෙන බව සඳහන් කළේය.

එමඟින් වෙරළේ මීටර දෙසීයක පමණ ප්‍රදේශයක ට එය විහිදී ගොස් ඇති බවයි, ඔහු පවසන්නේ.

මීගමුවේ ධීවර කර්මාන්තයට මේ මඟින් බලපෑමක් විය හැකි බව පිළිගන්නා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙරළ පිරිසිදු කිරීම පිණිස දැනටමත් හමුදාව යොදවා ඇති බවද පවසයි.

නැවෙන් කාන්දු වන තෙල් කොළඹ අවට වෙරළට ද පැතිරීමේ අවදානමක් තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.