හෙජින් ගණුදෙනුවේ පාඩුව අධ්‍යාපන වැය ශීර්ෂයටත් වැඩියි - ජවිපෙ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 27 සඳුදා - 11:32 GMT
Colombo Stock Exchange

කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව ආණ්ඩුවට එල්ල වන තවත් චෝදනාවක්

තෙල් මිල ඉහල පහල යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය එළඹි ගිවිසුම් රටට අවාසිදායක වීමේ හේතුවෙන් සිදුවී ඇති පාඩුව ඩොලර් කෝටි නව දහස ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.

මෙය ශ්‍රී ලංකාව වසරකට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා අධික මුදලක් බවයි, ජවිපෙ නායකත්වයෙන් යුත් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසන්නේ.

ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහල යාමෙන් සිදුවන අලාභය පියවා ගැනීමේ අරමුණින් හෙජින් නමින් හැඳින්වෙන එම ගිවිසුමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළැබී ඇත්තේ දේශීය හා විදේශීය බැංකු පහක් සමග.

ගිවිසුම කඩ කළ බවට චෝදනා කරමින් විදේශීය බැංකු නඩු මගට බැස තිබෙන අතර, එහිදී තෙල් මිල එක් සීමාවකට ඉහල ගියහොත් බැංකු විසින් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත්, තෙල් මිල පහල වැටුනොත් තෙල් සංස්ථාවට මුදල් ගෙවීමටත් ඇති කරගත් එකඟතාව දිගුකාලීනව ලංකාවට පාඩු ගෙන දුන් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ.

අධ්‍යාපන වැය ශීර්ෂය

හෙජින් ගණුදෙනුවේ පාඩුව

"අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි"

අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත

"මේ ප්‍රශ්නේ එන්න කලින් ගෙවල තියෙනවා ඩොලර් මිලියන 38.5 ක්. හතලිහට වඩා ඉහල යාම නිසා හම්බවෙලා තියෙනවා ඩොලර් මිලියන 24.5 ක්. අපට වෙච්ච පාඩුව ඩොලර් මිලියන 14 යි," ඔහු පැවසීය.

නඩු ගාස්තු වෙනුවෙන් දැරිය යුතු වියදම ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය වරයා විසින් පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුව හමුවේ හෙළි කරන ලද බවයි ලාල් කාන්ත හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

"නීති ගාස්තු ගිහිල්ල තියෙනවා ඩොලර් මිලියන 467 ක්. දෙකේ එකතුව ඩොලර් මිලියන 481 යි."

බැංකුවලට ගෙවීමට සිදුවූ වන්දි මුදල් ද මෙම මුදලට එකතු කළ විට ආණ්ඩුවට සිදු වී ඇති පාඩුව ඩොලර් මිලියන 945 ක් බව ද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි.

හෙජින් ගනුදෙනුවෙන් සිදුවූ අලාභය සංසන්දනය කරමින් ඔහු කියා සිටියේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල ඉහල දමන ලෙස සරසවි ඇදුරන් වර්ජනයක යෙදී කරන ඉල්ලීම එමගින් සපුරා ලීමේ හැකියාවක් තිබුණු බවයි.

"අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011 අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි. අතර ගාන (හෙජින් පාඩුව) රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි," බවයි, ලාල් කාන්ත ප්‍රකාශ කරන්නේ.

කොටස් වෙළෙඳ පළේ 'අයථා මුදල් ඉපයීම'

කොටස් වෙළෙඳ පළේ ඇතැම් ව්‍යාපාර වල කොටස් මිල කෘතිම ලෙස ඉහල නංවා සුළු ආයෝජකයන් වෙත විකුනා සිදුකරන අයථා මුදල් ඉපයීමක් නිසා ද ලංකාවේ ආර්ථිකයට හානි පැමිණ තිබෙන බව එම ව්‍යාපාරය එල්ල කරන තවත් චෝදනාවක්.

ඒ පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඉදිරිපත් වූ විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති තිලක් කරුණාරත්න ඉකුත් දා ඉල්ලා අස්වුනේ තමනට ඒ කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස බලපෑම් ඇතිවන බව ප්‍රකාශ කරමින්.

ඔහුට පෙර එම ධුරය හෙබවූ ඉන්ද්‍රානි සුගතදාස පත්වීම ලබා කෙටි කලකින් ඉවත් වූයේ ගිය දෙසැම්බරයේ.

මේ දෙදෙනාටම රාජකාරිය කරගෙන යාමට නොහැකි වනසේ කොටස් වෙළෙඳ පොළ අයථා ලෙස හසුරුවන බවට චෝදනා කරමින් දිවයිනේ මුල් පෙලේ ව්‍යාපාරිකයන් පිරිසකගේ නම් සභාව හමුවේ හෙළි කළ අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත, විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති වරයා ඉල්ලා අස් වීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවේ ආයෝජනය පිලිබඳ සැක පහල කොට ඇති බවත් ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.