'සුදු වෑන් පැහැරගැනීම්' ගැන පොලිස්පති සහ හමුදාපතිට නොතීසි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 10 සඳුදා - 12:54 GMT
White van abductions in Sri Lanka

සුදු වෑන් රථයකින් පැමිණ තමන් පැහැරගැනීමට දැරූ ප්‍රයත්නයක් ව්‍යවර්ථ කළ බව පසුගියදා ආණ්ඩුවේ දේශපාලකයකුද පැවසීය

පසුගිය වසරේ කොළඹදී පුරුෂයන් තිදෙනකු සුදු වෑන් රථවලින් පැහැරගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අධිකරණය පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කළේය.

පසුගිය වසරේ මට්ටක්කුලියෙදී එන් ඒ ප්‍රේමරත්න, කැලුම් නිශාන්ත සහ ගයාන් ප්‍රියන්ත යන තිදෙනා අධිකරණ හමුවට ඉදිරිපත් කරන මෙන් නියෝග කරන්නැයි ඉල්ලා ඔවුන්ගේ බිරිඳන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කිරීමෙන් අනතුරුවයි, අභියාචනාධිකරණය එම නියෝගය කළේ.

කොළඹ අපරාධ කොට්ටාශය භාර අධ්‍යක්ෂවරයාට හා බියගම සහ මෝදර පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද නොතීසි නිකුත් කෙරින.

2010 වසරේ මට්ටක්කුලිය පොලීසියට පහර දීමේ සිද්ධියට සම්බන්ධ යයි චෝදනා මත අත් අඩංගුවට ගැනුණු තම සැමියන් පසුව අධිකරණය මගින් ඇප මත නිදහස් කරන ලද බව පවසන පෙත්සම්කාරියෝ, ඉන් පසුව සුදු වෑන්වලින් පැමිණි පිරිසක් ඔවුන් පැහැරගෙන ගිය බවද ප්‍රකාශ කරති.

'පොලීසිය බලා සිටියා'

'හමුදා සෙබලුත් සිටියා'

"මට තුවක්කු පෙන්නලා මහත්තය ඇදගෙන ගියා හමුදාවේ අයත් හතර දෙනෙක් ආව. ඒගොල්ල ගේ වටකරගෙන හිටියේ"

අතුරුදහන්ව සිටින ගයාන් ප්‍රියන්තගේ බිරිඳ, දුලාරි සිල්වා

තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි බීබීසී සංදේශයට කියා සිටියේ.

"පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි තියල හරි අල්ලන්න තිබුනනේ? දැන් අපි වගේ මනුස්සයෙක් ගියා නම් ඒගොල්ල අල්ල ගන්නවනේ?," ඇය ප්‍රශ්න කරයි.

අතුරුදහන්ව සිටින ගයාන් ප්‍රියන්තගේ බිරිඳ දුලාරි සිල්වා පවසන්නේ තම සැමියා පැහැරගෙන ගිය පිරිස අතර හමුදා සෙබළුන්ද සිටි බවයි.

"මට තුවක්කු පෙන්නලා මහත්තය ඇදගෙන ගියා හමුදාවේ අයත් හතර දෙනෙක් ආව. ඒගොල්ල ගේ වටකරගෙන හිටියේ," ඇය පැවසීය.

පෙත්සම්කාරියන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සෑහීමකට පත්වන බව ප්‍රකාශ කළ අධිකරණය ඒ පිළිබඳව විභාගයක් පැවැත්වීමට තීන්දු කළේය.

වැඩිදුර විභාගය ඔක්තෝබර් 17 වැනි දිනට කල් තැබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.