13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන යළි කල්පනා කළ යුතුයි - බැසිල් රාජපක්ෂ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 23 අඟහරුවාදා - 18:22 GMT

උතුරේ සංවර්ධනයට බාධා පමුණුවන බවටත් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර වැලක්වීමට කටයුතු කරමින් සිටින බවටත් රජය දමිළ ජාතික සන්ධානයට එරෙහිව චෝදනා කරයි.

උතුරට සම්පත් යොදවා දෙමළ ජනතාවගේ සිත් රජයට දිනාගැනීමේ මාර්ගය දමිළ ජාතික සන්ධානය විසින් අවහිර කොට තිබෙන බවත් ආර්ථික සංවර්ධන කටයුතු භාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹදී මාධ්‍යවේදීන් පිරිසක් අමතා කියා සිටියේය.

දිවි නැගුම පනත සම්මත කර ගැනීමට දමිළ ජාතික සන්ධානය ප්‍රබල බාධාවක් ලෙසින් පවතින බවත් ඇමති වරයා පෙන්වා දී තිබේ.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ

"ඔවුන් කතා කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන්. බිම් සවිය නැති කළා. දැන් සමෘද්ධිය නැති කරන්න හදන්නේ. දිවි නැගුමත් නැති කරන්න හදන්නේ," අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.

තමන් නියෝජනය කරන උතුරේ ජනතාවගේ සංවර්ධනයට දමිළ ජාතික සන්ධානය බාධා කරන බවත්, සංවර්ධනයට බාධා පැමිණෙන්නේ නම් පවත්නා නීති රීති වෙනස් කළ යුතු වන බවත් රාජපක්ෂ ඇමති වරයා ප්‍රකාශ කළේය.

"විශේෂයෙන්ම උතුරේ ජනතාවට සේවය කරන්නට බලාපොරොත්තුවෙන් ඇති කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ ජනතාවටම සේවය කරන්නට බාධාවක් වෙනවා නම්, ජනතා රජයක් හැටියට ඒ ගැන කල්පනා කළ යුතුව තියෙනවා."

"විශේෂයෙන්ම උතුරේ ජනතාවට සේවය කරන්නට බලාපොරොත්තුවෙන් ඇති කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ ජනතාවටම සේවය කරන්නට බාධාවක් වෙනවා නම්, ජනතා රජයක් හැටියට ඒ ගැන කල්පනා කළ යුතුව තියෙනවා"

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට ඉන්දියාවට පොරොන්දු දී ඇති මහින්ද රාජපක්ෂ රජය තිබෙන බලය බෙදීමත් අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින්නේයැයි එක්සත් ජාතික පක්ෂය මේ අතර චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂය

"අපි එහා යන හැටි බලන් ඉන්නකොට මේ තියෙන එකත් අවලංගු කරනවා නම් බරපතල ප්‍රශ්නෙකට යයි. මොකද දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතියට හානියක් නොවෙයි.

දැන් ඒක වෙනස් කරලා අලුත් තත්වෙකට යන්න ක්‍රියා කරනවද? නැත්නම් මේක අහෝසි කරලා මධ්‍යගත තත්වෙකට එනවද? ඉතින් මේකෙන් තව අර්බුද ගණනාවක් ඇති වෙයි," යනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මාධ්‍ය වේදීන් අමතා කොළඹදී ප්‍රකාශ කර ඇත.

ඉන්දු ලංකා ගිවිසුමෙන් අනතුරුව 1987 දී නීතිගත කැරුණු දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ යෝජනාවට මුල් පෙළේ අමාත්‍යවරුන් ගණනාවක් ම සහාය පළ කොට තිබුණි.

එය අවස්ථාවාදී පියවරක් ලෙස හැඳින්විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශ වගකීමෙන් තොර බවයි බී බී සී දමිල සේවය කළ විමසුමකට පිළිතුරු දුන් දමිල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් ප්‍රකාශ කර ඇත්තේ.

උතුරේ සංවර්ධනයට බාධා පමුණුවන බවටත් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර වැලක්වීමට කටයුතු කරමින් සිටින බවටත් රජය දමිළ ජාතික සන්ධානයට එරෙහිව චෝදනා කරයි

විදේශීය තානාපතිවරුන් හමුවී තමන් දමිල ජනතාවගේ අයිතීන් පිළිබඳව කතා කළ බව ඔහු කියා සිටියා

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රජය ගන්නා පියවර දෙස දමිළ ජනතාව විමසිල්ලෙන් බලා සිටින්නේ යැයි ද දමිළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මෙහිදී අවධාරණය කර සිටියේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.