අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයටම අපහාසයක් - දෝෂාභියෝග චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 6 අඟහරුවාදා - 13:34 GMT
Chief Justice Shirani Bandaranayake

අගවිනිසුරු වරිය සමස්ත ශ්‍රේෂ්ටාධිකරණයටම අපහාස වන අන්දමින් හැසිරී ඇති බව ආණ්ඩුව පවසයි

අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක සිය ධූරයට පමණක් නොව සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයටම අපහාස වන අන්දමින් හැසිරී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

සිය ධූරයට නොගැලපෙන අන්දමින් හැසිරී ඇති බවට පමණක් නොව සමස්ත අධිකරණ ක්‍රියාදාමයටම බලපෑම් කොට ඇති බවටත් ආණ්ඩුව අගවිනිසුරු වරියට චෝදනා කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු සොහොයුරු කථානායක චමල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කරන ලද දෝෂාභියෝග යෝජනාවේයි, එම චෝදනා සඳහන් වෙන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කථානායක වරයාට ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග යෝජනාවේ අගවිනිසුරු වරියට එරෙහිව චෝදනා 14ක් අඩංගු වන අතර, සිය සම්පූර්ණ වත්කම් හෙළි කිරීම අසමත් වීම ඇයට එරෙහිව නඟා තිබෙන තවත් චෝදනාවක්.

දිවි නැගුම පණත

Protest in support of Divi Neguma bill

ශ්‍රේෂ්ටාධිකරණය ලබාදුන් තීන්දුව නොතකා හරිමින් එය ක්‍රියාවට නගන මෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුවේ හිතවාදීහු උද්ඝෝෂණයක යෙදී සිටියහ

රුපියල මිලියන 34 කට ආසන්න මුදලක විදේශීය විනිමය ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවේ ගිණුමක තැන්පත් කොට සිය වත්කම් ප්‍රකාශයට එම ගිණුමේ තොරතුරු ඇතුලත් කිරීමට අපොහොසත් වීමත්, තවත් ගිණුම් 20 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ගැනීමත්, මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පත් කිරීමේදී රටේ ව්‍යවස්ථාවට අනනුකූලව ක්‍රියා කිරීමත්, විනිසුරුවරියකට හිරිහැර කිරීමත්, ඇගේ ස්වාමි පුරුෂයාට එරෙහිව අල්ලස් චෝදනා යටතේ නඩු පවරා තිබෙන බැවින් තවදුරටත් සිය ධූරයේ කටයුතු කිරීමට ඇය සුදුසු තැනැත්තෙකු නොවීමත් එම චෝදනාවලට ඇතුලත්.

කථානායක වරයා විසින් දෝෂාභියෝග යෝජනාව පිළිගැනීමෙන් අනතුරුව ඔහු විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් එම චෝදනා විභාග කරනු ලැබීමට නියමිතයි.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවට සහ අගවිනිසුරු වරියට එරෙහිව පෞද්ගලික ප්‍රහාරයක් දියත් කරමින් සිටින බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ ව්‍යවස්ථානුකූලව අදාළ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

එහෙත් පළාත් සභාවලට විමධ්‍යගත කොට තිබෙන බොහෝ අරමුදල් යලිත් මධ්‍යම ආණ්ඩුවට පැවරීමට යෝජනා කරන දිවි නැගුම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව දෝෂාභියෝගයට ප්‍රධානම හේතුව බව ප්‍රධාන විරුද්ධ පක්ෂවල මතයයි.

එම අරමුදල් යොදවා ජනාධිපතිවරයාගේ තවත් සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ විශේෂ අධිකාරියක් පිහිටුවීමට යෝජනා කෙරෙන අදාළ පණත මඟින් පළාත්වලට බලය බෙදා හැරීමේ ක්‍රියාදාමය අඩපණ කිරීමේ ආණ්ඩුවේ අභිප්‍රාය හොඳින් ගම්‍ය වන බවද විවේචකයෝ පවසති.

දිවි නැගුම පණත ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පමණක් නොව ජනමත විචාරනයක්ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නොතකා එය ක්‍රියාවට නගන මෙන් ඉල්ලා සිටිමින් ආණ්ඩුවේ හිතවාදීන් අද කොළඹදී උද්ඝෝෂණයක යෙදුන අතර, විරුද්ධ පක්ෂ ක්‍රියාධරයෝ පණතට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටියහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.