වැලිකඩ කලහකාරීන් ගැන විමර්ශන

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 10 සෙනසුරාදා - 18:57 GMT

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම් වලට මුල්වූ කලහාකාරීන් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භවී ඇති අතර සිරකරුවන් අතට පත්ව ඇති අවි ආයුධ බෝහොමයක් දැනට සොයා ගෙන ඇතැයි බන්ධනාගාර කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ජී.එස්. විතානගේ පවසයි.

පැහැර ගෙන ගිය අවි 82 න් 71ම මේවන විට සොයාගෙන ඇති බවයි ලේකම් වරයා සඳහන් කළේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරි තුලට තහනම් භාණ්ඩ ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව සිකුරාදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වැටලීමක් දියත් කළ බව අමාත්‍යංශ ස්ථිර ලේකම් ජී.එස්. විතානගේ පැවසුවේය.

ප්‍රශ්නයට තුඩු දුන් බන්ධනාගාර කුටි දෙකේ පමණක් දහසකට වැඩි රැඳවියන් පිරිසක් සිටින බව පැවසූ ඔහු බන්ධනාගාර නිලධාරීන් තුන් සියයකට හෝ හාර සියයකට ඒවා පරීක්ෂා කිරීමට හැකි තත්වයක් නැති බව කියා සිටියේය.

මේ හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට සිදුවූ බවයි ලේකම් වරයා පැවසුවේ.

දරුණු ඝනයේ අපරාධ කරුවන් සේ සැලකෙන පිරිසක් එකම ස්ථානයේ රඳවා තැබුවේ ඇයිදැයි විමසු විට ලේකම්වරයා කියා සිටියේ බන්ධනාගාරයේ ඉඩ කඩ නොමැතිකම බරපතල ගැටලුවක් වී ඇති බවයි.

වැටලීමෙන් බලපොරොත්තුවුනේ එම සිර මැදිරි වල කිසියම් විදියක පාලනයක් ඇති කිරීම යයි ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග මේ සිර මැදිරි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එලියට පැමිණි පසු සිරකරුවන් ආයුධ ගබඩා අංක එක වෙත ගොස් ආයුධ පැහැර ගත් බවත් ඉන් පසු ඇතිවූ අසහන කාරී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ජී.එස්. විතානගේ පැවසුවේය.

ඉන් පසුව හටගත් වෙඩි හුවමාරුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 42 ක් තුවාල ලබා සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.