පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දෙනවා - එජාප

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 13 අඟහරුවාදා - 13:04 GMT
President Rajapaksa meeting a UNP delegation (file photo)

පූර්ණ සංශෝධනයක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව එජාපය පවසයි

දාහත් වැනි සංශෝධනය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයකට තම පක්ෂයේ සහාය හිමි වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එවැනි සංශෝධනයක් සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට පක්ෂය සූදානම් බවයි, එහි ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

ඔහු එම අදහස් පළ කළේ පළාත් සභාවලට බලය බෙදා හරින 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුත් පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්ථාවේ දී.

කෙසේ නමුත් 13 වැනි සංශෝධනය පමණක් ඉවත් කිරීමට තම පක්ෂයේ සහාය හිමි නොවන බවද මහ ලේකම්වරයා පැවසීය.

'2013 විරෝධයේ වසරක්'

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට සූදානම් බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ මහ ලේකම්වරයා කියා සිටියේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තම පක්ෂය සාධනීය ප්‍රතිචාරයක් පළ කරන බවයි.

"මේ ප්‍රවේශය ඉතාම හොඳයි. ඒ නිසාම අපි සතුටු වෙනවා ලාල් කාන්ත මැතිතුමාගේ මේ ආරාධනාව," ඔහු පැවසීය.

විපක්ෂයේ විරෝධය කණ්ඩායමට එක්වන ලෙසින් ජනතා විමුක්ති පෙරමුණටද නිල වශයෙන් ආරාධනා කරන බවද ඔහු සඳහන් කළේය.

ලබන ජනවාරි මාසයේ සිට සමස්ත වසර පුරාම ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධය සන්ධානය විරෝධතා උද්ඝෝෂණ දියත් කරන බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

"අපි බලාපොරොත්තු වෙනවා 2013 ආණ්ඩුව ගෙදර යවන මහජන පෙළ ගැස්ම හදන වර්ෂය බවට පත් කරන්න," අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.