ව්‍යවස්ථා විරෝධී අය වැය සම්මත කරගැනීම කප්පම් ගැනීමක් - රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 18 ඉරිදා - 12:10 GMT
Ranil Wickramasinghe

'ඉතින් මොකද්ද මේ ආණ්ඩුවෙයි, ප්‍රභාකරන් ගෙයි වෙනස? එයා ඒ පාර බදු කියල ගත්ත අපි කිවුව කප්පම් කියල. දැන් මුදල් වියදම් කරන්නේ නීත්‍යානුකූල භාවයක් නැතුව'

රටේ ව්‍යවස්ථාවට අනනුකූල පණතක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබෙන විසර්ජන පණත් කෙටුම්පත අදාළ සංශෝධනවලින් තොරව සම්මත කර ගැනීම කප්පම් ගැනීමක් හා සමාන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අතර වෙනසක් දකින්නට නැති බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

කොළඹ නගරාධිපති නිළ නිවසේදී මාධ්‍යවේදීන් අමතමින් එජාප නායකයා එම ප්‍රකාශය කළේ සංශෝධනවලින් තොරව අය වැය සම්මත කරගැනීම ව්‍යවස්ථා විරෝධී බවට ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය ප්‍රමුඛ විනිශ්චය මඬුල්ලක් විසින් ලබා දී තිබෙන තීන්දුවක් පිළිබඳව අදහස් දක්වමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එක් අමාත්‍යාංශයක වැය ශීර්ෂයෙන් තවත් අමාත්‍යාංශයකට මුදල් මාරු කිරීම ව්‍යවස්ථාවට අනනුකූල බවයි ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයේ සඳහන් වූයේ.

විසර්ජන පණත් කෙටුම්පත පමණක් නොව දිවි නැගුම පණත පවා සංශෝධනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයෙන් පසුව බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රතිඥා දුන් බව පෙන්වා දෙන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කෙසේ නමුත් විසර්ජන පණත සංශෝධනය කරන බවට ආණ්ඩුව මෙතෙක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නැති බව පෙන්වා දෙයි.

"ඉතින් එහෙම කිවුවේ නැත්නම් මේක ඡන්දෙට ගන්න බෑ, ඒ පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව, සම්මත කරන්න බෑ මොකද ව්‍යවස්ථාවට විරුද්ධයි, ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි," ඔහු පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුකිරීම පිණිස අධ්‍යාපනයට වෙන් කොට ඇති මුදල් වෙනත් අංශවලට යොමු කිරීම මෙහි යටි අරමුණ වී ඇතැයි චෝදනා කරන විපක්ෂනායක වරයා, මෙසේ ව්‍යවස්ථා විරෝධීව මුදල් රැස්කිරීම හඳුන්වා දෙන්නේ කප්පම් ගැනීමක් ලෙසින්.

"ඉතින් මොකද්ද මේ ආණ්ඩුවෙයි, ප්‍රභාකරන් ගෙයි වෙනස? එයා ඒ පාර බදු කියල ගත්ත අපි කිවුව කප්පම් කියල. දැන් මුදල් වියදම් කරන්නේ නීත්‍යානුකූල භාවයක් නැතුව," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහුගේ ප්‍රකාශය අවසානයේ බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු ප්‍රශ්නයක් නැගීමට උත්සාහ කළ අවස්ථාවේ එයට අවසර නොදුන් විපක්ෂනායක වරයා, නගරාධිපති නිළ නිවසෙන් ඉවත්ව යන මෙන් මාධ්‍යවේදීන්ට නියෝග කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.