පාර්ලිමේන්තුවේ කටයුතුවලට ඇඟිලි ගහන්න එපා - ආණ්ඩුව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 25 ඉරිදා - 12:58 GMT
CJ Shirani Bandaranayake

විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට උත්තරීතර බලයක් හිමි නොවන බව අගවිනිසුරුවරියගේ තර්කයයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වෙන දෝෂාභියෝග ක්‍රියාවලියට ඇඟිලි නොගසන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇමතූ එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරුන් විසිනුයි එම එල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ.

තමන්ට එරෙහි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ නීත්‍යානුකූල භාවයද ප්‍රතික්ෂේප කළ බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ නමුත් සමස්ත දෝෂාභියෝගය නීත්‍යානුකූල පමණක් නොව ව්‍යවස්ථානුකූල බවටද තර්ක කරන අමාත්‍යවරුන් පිරිස, තේරීම් කමිටුවේ ක්‍රියාදාමය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

රටේ ව්‍යවස්ථාවට අනුගත වෙමින් සහ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිගනිමින් ආචාර්ය බණ්ඩාරනායක තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීම අමාත්‍යවරුන් පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණයට උත්තරීතර බලයක් හිමි නොවන බව අගවිනිසුරුවරියගේ තර්කයයි.

ලබන දෙසැම්බර් 04 වැනිදා පැවැත්වීමට නියමිත තේරීම් කමිටුවේ දෙවැනි සැසිවාරයට පෙරාතුව ඇයට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා 14 ට පිළිතුරු සපයන මෙන් තේරීම් කමිටුව අගවිනිසුරුවරියට දැනුම් දුන් බවද දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන්.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.