අතුරුදහන් වූවන් සොයා දෙන මෙන් දේව කන්නලවුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 30 සිකුරාදා - 12:51 GMT
Relatives of the disappeared in a march (file photo)

"අපි ගිය ගිය තැන අපිට උත්තරයක් දුන්නේ නෑ. බූස්ස කෑම්ප් එක, හතරවෙනි තට්ටුව, කොළඹ හැම තැනකම ඇවිදලා ඇවිදලා තමයි මෙහාට ආවේ"

අතුරුදහන් වී සිටින සිය ගණනක් පිරිස සොයා දෙන මෙන් දෙවියන් ඉදිරියේ ඇවිටිලි කිරීම පිණිස අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පිරිසක් කොළඹ අගනුවරදී දේව කන්නලවුවකට එක්වූහ.

පොන්නම්බල වානේෂ්වර හින්දු කෝවිලේ සිට ජින්තු පිටියේ මුරුගන් කෝවිල දක්වා මැටි බඳුන්වල කපුරු දවාලමින් ගමන් ගත් කාන්තාවන් පිරිස ඉන් අනතුරුවයි කන්නලවුවට සහභාගි වූයේ.

අතුරුදහන් වූවන් සඳහා වූ කමිටුව විසිනුයි, තේ චාඩි නම් එම පා ගමන සංවිධානය කොට තිබුණේ.

සිය පුත්‍රයා, සෙබස්තියන් රේගන් 2008 දී අතුරුදහන් වූ බව ත්‍රිකුණාමලයේ සිට පැමිණි සෙබස්තියන් දේවී සංදේශයට පැවසුවාය.

'ප්‍රගීත් ගැන දන්නේ දෙවියෝ විතරයි'

"තව වෙනකම් අපි ගිය ගිය තැන අපිට උත්තරයක් දුන්නේ නෑ. බූස්ස කෑම්ප් එක, හතරවෙනි තට්ටුව, කොළඹ හැම තැනකම ඇවිදලා ඇවිදලා තමයි මෙහාට ආවේ," ඇය පවසන්නීය.

පා ගමනට එක්වී සිටි කල්පිටියේ කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරයේ බැඳිවැව දියසේන හිමියන් එහිදී අනුශාසනාවක් කරමින් යුද්ධයට පෙරත්, යුද්ධයෙන් පසුවත් අතුරුදහන් වූ අයගේ ඥාතීන්ගේ දුක් වේදනාව සියලු දෙවියන්ට ඇසේවායි ප්‍රර්ථනා කළහ.

2009 ජනවාරි මාසයේ සිට අතුරුදහන් වී සිටින මාධ්‍යවේදී සහ කාටුන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ සන්ධ්‍යා, මෙම පා ගමනට එක්ව සිටි තවත් කාන්තාවක්.

"මම ලංකාවේ සියලුම මැති ඇමතිවරු, යුක්තිය රකින හැම දෙනාම ලඟට ගියා," සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

"මට පෙනෙන අය උදවු කරන්නේ නැත්නම් දෙවියෝ හරි මට උදවු කරාවි කියල මම හිතනවා. මොකද හිටපු නීතිපති මොහාන් පීරිස් අධිකරණය ඉදිරියට ඇවිල්ල කිවුව ප්‍රගීත් ගැන දන්නේ දෙවියෝ විතරයි කියල," පා ගමන වාර්තා කළ සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු අමතමිනුයි, ඇය කියා සිටියේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ලේකම් පෙරුමාල් භූමිනාදන් එහිදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙසේ අතුරුදහන්ව සිටින විශාල පිරිස අතුරුදහන් වූවා නොව "අතුරුදහන් කරන" ලද බවයි.

ශ්‍රී ලංකාව දැන් බේරා ගැනීමට හැකියාව තිබෙන්නේ දෙවියන්ට පමණක් බැවින් තමන්ද මෙම දේව කන්නලවුවට එක්වූ බව එම ව්‍යාපාරයේ සම සභාපති සත්‍යවේල් පියතුමා ප්‍රකාශ කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.