එජාප නායකයාගේ ධූර කාලය වසර හයකින් දීර්ඝ කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 1 සෙනසුරාදා - 14:06 GMT

පක්‍ෂ නායකයාගේ ධූර කාලය වසර හයකින් දීර්ඝ කර ගැනීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ මහා සම්මේලනයේදී සම්මත කර ගනියි.

එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුනේ කැරලි මර්ධන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ජල ප්‍රහාරක ලොරි මෙන්ම යකඩ වැටවල් වලින්ද සපයා තිබූ ආරක්ෂාව මධ්‍යයේයි.

පක්‍ෂ සම්මේලනය මගින් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් ඇති කරන ගමන ආරම්භ කළ බව පැවසෙන පණිවිඩය මුළු රටටම ලබා දෙන බව සමුළුව ඇමතූ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. දූෂණයෙන් රට වෙලී පවතින හෙයින් රට ආරථික වශයෙන් කඩා වැටෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

දේශපාලන සමාජ ආර්ථික පෙරළියක් ජනතාව බලාපොරොත්තුවන බව පැවසූ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් පාලනය ඉවත් කොට හොඳ සමාජයක් බිහිකිරීමේ සටනට නායකත්වය දීමට තමා සුදානම් බවත් පක්‍ෂ සම්මේනලය අමතමින් ප්‍රකශ කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පක්‍ෂ නායකයාගේ ධූර කාලය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාව පක්‍ෂ සම්මේනලයට ඉදිපත්කිරීමෙන් පසු එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් ඊට විරෝධය පල කරන ලදී.

1994 සිට පක්‍ෂයට පැහැදිලි හා ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ බව කියා සිටි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර 6කින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කළ බව පැවසුවේය.

ජන්ද විමසීමෙන් පසුව යෝජනාව බහුතර ජන්දයෙන් සම්මත කර ගැණින.

සම්මේලනය ඇමතු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂ‍කයෙකු ඉදිරිපත් නොකළ යුතු බව කියා සිටි අතර නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තමා සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.