අත් අඩංගුවට පත් යාපන විශ්ව විද්‍යාල සිසුන් වවුනියාවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 2 ඉරිදා - 13:39 GMT
Student leader P Darshanan at a recent protest (file photo)

එල්ටීටීඊ යට පක්ෂපාතී පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් පිරිසට චෝදනා එල්ල වී ඇති බව පොලීසිය පවසයි

අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනා ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් වවුනියාවේ රඳවා සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ශිෂ්‍යයන් පිරිස දැන් වවුනියාවේ රඳවා සිටින බව පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන් බවයි, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

ශිෂ්‍යයන් දෙදෙනකු සිකුරාදා අත් අඩංගුවට ගත් බව සෙනසුරාදා බීබීසී යට කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවත් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ද පැවසීය.

යාපනයේ පිහිටි ඊපීඩීපී කාර්යාලයට පෙට්‍රල් බෝම්බ දමා ගැසීම සහ එල්ටීටීඊ යට පක්ෂපාතී පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් පිරිසට චෝදනා එල්ල වී ඇති බවයි, පොලිස් ප්‍රකාශකයා කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට කියා සිටියේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත

කෙසේ නමුත් එසේ අත් අඩංගුවට පත් ශිෂ්‍යයන් අතරින් කෙනෙකු වන යාපන විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශානන්ද් ගේ මව උදයන් පුවත්පතට පවසා තිබුනේ, සිවිල් ඇඳුමින් සැරසී සිකුරාදා මධ්‍යම රාත්‍රියට පසුව නිවසට පැමිණි පුරුෂයන් සිවු දෙනකු සිය පුතාගේ හැඳුනුම් පත පරීක්ෂා කොට ඉන් අනතුරුව ඔහු කෝපායි පොලීසියට රැගෙන යා යුතු බව දැනුම් දුන් බවයි.

කළා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කනකසුන්දරස්වාමි ජනමීජයන්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ ෂන්මුගම් සොලමන් සහ ගනේෂමූර්ති සුදර්ශන් රඳවාගෙන සිටින අනෙක් ශිෂ්‍යයන් තිදෙනායි.

අත් අඩංගුවට පත් ශිෂ්‍යයන් පිරිස ත්‍රස්ත විමර්ෂණ ඒකකයේදී වධ බන්ධනවලට ලක්වනු ඇති බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ බිය පළ කරති.

ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය.

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

පොලීසිය පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ මහ විරු දිනය සැමරීම සඳහා උත්සවයක් නේවාසිකාගාර තුළ සංවිධාන කොට තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි.

එම පහර දීමෙන් අනතුරුව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුහු දින දෙකක් අධ්‍යයන කටයුතු වලට සහභාගි නොවී පන්ති වර්ජනය කිරීමට තීරණය කළහ.

එම පහරදීම සහ එහිදී පුවත්පත් කතුවරයකු ද ප්‍රහාරයට ලක්වීම ඇමරිකා එක්සත් ජනපදයේ ද විවේචනයට ලක්විය.

මීට වසර තුනකට ඉහතදී එල්ටීටීඊ යට එරෙහිව පැවති යුද්ධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් යාපනයේ දිගටම විශාල හමුදා භට පිරිසක් රඳවා සිටින තත්ත්වයක් උතුරු පළාතේ දිගටම දේශපාලන නොසන්සුන් වාතාවරණයක් පැවති බවයි, බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.