අගවිනිසුරු තීන්දුවට නීතිවේදී සහාය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 7 සිකුරාදා - 12:59 GMT

දෝෂාභියෝග විමර්ෂණ ක්‍රියාදාමයෙන් ඉවත් වීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ගත් තීන්දුවට තම සහාය හිමිවන බව නීතිවේදීන්ගේ සංවිධාන පවසති.

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපසදී මාධ්‍යවේදීන් ඇමතූ එම සංවිධාන කියා සිටියේ මතුවී තිබෙන අලුත් වාතාවරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාදාමය පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කෙරෙහි විශ්වාශයක් නැති බව පවසමින් අගවිනිසුරු බණ්ඩාරනායක ඊයේ එම විමර්ෂණයෙන් ඉවත්ව ගියාය.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා පිලිබඳ සාක්ෂි ඇතුලත් ලියකියවිලි ඇය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුවයි, ඇය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියේ.

ජනතා නීතිඥ සංගමයේ උප සභාපති සුනිල් වටගල නීතිඥවරයා කියා සිටියේ, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණි අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් සාමාජිකයන් ඇයට අපහාස වන ආකාරයෙන් බැන වැදීම හෙලා දකින බවයි.

"ඇයට අවමන් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඇය අභීත තීන්දුවක් ගත්තේ. මේ රටේ කාන්තා පරපුර වෙනුවෙන් ගත්තු අභීත තීන්දුවක්," ඔහු පැවසීය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංවිධානයේ සම සභාපති නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, පිටු දහසක පමණ චෝදනා පත්‍රයකට පැය 24 කටත් අඩු කාලයක් තුල පිළිතුරු දෙන මෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරිය ගත් තීන්දුවට සමස්ත නීතිඥ ප්‍රජාවගේ අගය කිරීමට ලක්වන බවයි.

කොළඹ මහාධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි ද එය අනුමත කළේය.

"අඩුම ගානේ සමථ මණ්ඩලේකවත් මෙවැනි ආකාරයෙන් පවත්වන්නේ නෑ. සමථ මණ්ඩලේකට ගියත් ඒ සහණ දෙනවා විත්තිකාරයෙකුට කරුණු දක්වන්න. මේ අනුව මේ සම්පූර්ණ පටිපාටිය නීති විරෝධීයි," ඔහු පැවසීය.

අධිකරණය සුරැකීමේ එකමුතුවේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසන්නේ අධිකරණය මර්ධනය කොට ඒකාධිපති ගමණක් යාමට උත්සාහ කරන රජයට පාඩමක් ඉගැන්විය හැක්කේ ජනතා ශක්තිය තුලින් පමණක් බවයි.

එමෙන්ම අගවිනිසුරුවරිය තවදුරටත් පදවියේ සිටියදී වැඩ බලන අග්‍ර විනිශ්චයකාර වරයෙකු පත්කිරීමට නීතියෙන් ඉඩකඩ නොමැති බව ජ්‍යෙෂ්ට නීතිවේදී ලාල් විජේනායක පැවසීය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.