යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 'වැලිකන්දේ රඳවලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 11 අඟහරුවාදා - 12:43 GMT
Police attacking protesting students in Jaffna (file photo)

විශ්ව විද්‍යාලයට ආරක්ෂක අංශ කඩා වැදීමට එරෙහිව ශිෂ්‍යයන් උද්ඝෝෂණයේ යෙදීමෙන් අනතුරුවයි, ඔවුන් අත් අඩංගුවට ගැනුනේ

පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනක
වාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු අඟවයි.

මේ තත්ත්වය යටතේ බොහෝ සිසුන්විශ්ව විද්‍යාලය හැර යාමට සහ ඇතැම් විට රට අත්හැර යාමට පවා පෙලැඹී සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් පවසන්නේ.

ශිෂ්‍ය නායකයන් ඇතුළු යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 10 දෙනකු පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද අතර ඒ අතරින් ශිෂ්‍යයන් හය දෙනකු සඳුදා නිදහස් කොට තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයන් පිරිස කොළඹට ගෙන ගොස් ඉන්පසුව ඔවුන් වවුනියාවේ රඳවා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගිය සතියේ සංදේශයට පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත

ඉතිරි ශිෂ්‍යයන් සිවු දෙනා වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටින බව බලධාරීන් විසින් දෙමාපියන්ට දැනුම් දෙනු ලැබ තිබේ.

පවතින වාතාවරණ පිළිබඳව ශිෂ්‍යයන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් පවා තැති ගැනී සිටින බව බීබීසී සංදේශයට පැවසූ ආචාර්ය සංගම් සභාපතිවරයා, සියලුම ශිෂ්‍යයන් වහාම නිදහස් කරන මෙන් තම සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු බලධාරීන්ගෙන් මේ වනවිටත් කිහිප වතාවක්ම ඉල්ලා තිබෙන බව ද සඳහන් කළේය.

බලධාරීන් සිය ඉල්ලීමට කන් නොදෙනු පමණක් නොව ආරක්ෂක නිලධාරීන් තවමත් නම් ලැයිස්තු රැගෙන ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට පැමිණ ඔවුන් පිළිබඳව සෝදිසි කරමින් සිටීම නිසා යාපනයම තැති ගෙන සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් මාධ්‍යවේදී දිනසේන රතුගමගේට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය.

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.