නීතිවේදීන්ගේ ආරක්ෂාව සහතික කරන්න - නීතිවේදියෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 18 අඟහරුවාදා - 14:20 GMT
Gunaratne Wanninayake

ගුණරත්න වන්නිනායක, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක්කළ නීතිඥවරයෙක්

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවේදීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන්නැයි නීතිවේදීන්ගේ එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

සන්නද්ධ පුද්ගලයන් සිවුදෙනකු විසින් ඊයේ නීතිවේදී ගුණරත්න වන්නිනායකට පහර දීමට දැරූ අසාර්ථක ප්‍රයත්නය දැඩිව හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන නීතිවේදීන්ගේ එකමුතුව, නීතිවේදීන්ට සහ විනිශ්චයකරුවන්ට එරෙහිව ජන මතය උසි ගැන්වීමේ ක්‍රියාදාමයක නිරතව සිටින බවට ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ජනමාධ්‍යවලට චෝදනාවක්ද එල්ල කරයි.

අගවිනිසුරුවරිය සම්බන්ධ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, විශේෂයෙන්ම ආණ්ඩුව නීතිවේදීන්ගේ එකමුතුවේ නීතිඥයන් ඉලක්ක කරමින් සිටින බවයි, නිවේදනයේ සඳහන් වෙන්නේ.

නීතිවේදී වන්නිනායකට පහරදීමේ ප්‍රයත්නයට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ඒකමතිකව සම්මත කොට තිබේ.

එක්සත් ජාතීන්ට ඉල්ලීමක්

සංගමයේ හදිසි මහා සභා රැස්වීමකදී මෙම තීරණයට එළැඹුණ බවයි, සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් ගමගේ කියා සිටියේ.

"ඔහුට කිසිදු ශාරීරික හානියක් වුනේ නෑ කියල ඒක සුළු කාර්යයක් සේ සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දරුණු සහ භයානක තත්ත්වයක්, මරණීය බිය ඇතිවන අවස්තාවක්"

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ප්‍රධාන ලේකම්

"ඔහුට කිසිදු ශාරීරික හානියක් වුනේ නෑ කියල ඒක සුළු කාර්යයක් සේ සලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දරුණු සහ භයානක තත්ත්වයක්, මරණීය බිය ඇතිවන අවස්තාවක්," ඔහු පැවසීය.

විශේෂයෙන්ම මෙම ප්‍රහාර ප්‍රයත්නය එල්ලවූයේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට සාධාරණ විභාගයක් ලබා නොදී ඇය පදවියෙන් ඉවත් කළහොත්, නව අගවිනිසුරුවරයාට සහාය පළ නොකරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කිරීමෙන් අනතුරුව බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහායට ඉදිරිපත් වන මෙන් ලොව පුරා සියලු රටවල නීතිඥ සංගම්වලින් ඉල්ලීමක් කරයි.

ගුණරත්න වන්නිනායක, දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට නීතිඥවරයෙක්.

මේ තත්ත්වය යටතේ නීතිඥවරයාට පහර දීමේ ප්‍රයත්නය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයිද ආසියානු මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන්, ජාත්‍යන්තර නීතිඥ සංගමය ඇතුළු සියලු ජාත්‍යන්තර ආයතනවලින්ද ඉල්ලා සිටියි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.