බලතල කප්පාදුවට රජය තුළින්ම විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 30 ඉරිදා - 19:02 GMT

විසි හතර වැනි මහා සභා සම්මේලනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායකයා

පළාත් සභා වලට දී ඇති බල තල අඩු කිරීම සඳහා දැරෙන උත්සාහයට රජයේ හවුල් කරුවන්ගෙන්ම විරෝධය මතු වී තිබේ.

දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා වලට දී ඇති බලතල අඩු කිරීමට සඳහා පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ ඡන්දයක් ලබා දීම පිළිබඳව 'නැවත සලකා බැලීමට' රජයේ පාර්ශව කාර පක්ෂයක් තීරණය කොට ඇත.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් කැරෙන්නේ නම් ඒ යෝජනා සම්මත කර ගත හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පමණයි.

පළාත් සභා බලතල කප්පාදු කිරීම සඳහා උත්සාහ කැරෙන්නේ නම්, 'තම පක්ෂය සතු උපරිම දේශපාලන බලය ප්‍රයෝජණයට ගත යුතු' බව දහසකට අධික නියෝජිත පිරිසක් 29 වැනි සෙනසුරාදා කොළඹට රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 24 වැනි මහා සභා සම්මේලනයේදී තීරණය කළ බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් බීබීසී සංදේශයට කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ

ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා බල තල කප්පාදු කළ යුතු බව මේ වන විටත් යෝජනා කර තිබේ.

මේ පිළිබඳව හකීම් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට ඕනෑම මතයක් දැරිය හැකි අතර තම පක්ෂයට ඒ පිළිබඳව වෙනත් ස්ථාවරයක් ඇති බවයි.

ආණ්ඩුවේ පාර්ශවකාර ඇතැම් පක්ෂ පළාත් වලට බලය බෙදීමට විරුද්ධ වුවත්, තම පක්ෂය මෙන්ම හවුල් ආණ්ඩුවේ 'වාමාංශික පක්ෂ' ද ඊට විරුද්ධ බවයි මුස්ලිම් කොන්ග්‍රස් නායකයා පවසන්නේ.

නමුත් පළාත් සභා වල ඇතැම් බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නා 'දිවි නැගුම' පනත සම්මත කර ගැනීමේදී නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ හවුල්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් සභිකයන් තම ඡන්දය භාවිතා කළේ ඊට පක්ෂවයි.

මේ පිළිබඳව තම පක්ෂය තුල 'යම් ආන්දෝලනයක්' පවතින බව පිළිගත් මුස්ලිම් කොන්ග්‍රස් නායකයා කියා සිටියේ දිවි නැගුම පනතට පක්ෂව ඡන්දය දුන් සාමාජිකයන් ගැන පක්ෂය තුළ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.