රජය 'ව්‍යවස්ථාව එලෙසම’ ක්‍රියාවේ යොදවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 7 සඳුදා - 18:09 GMT
JVP-led protest against the impeachment

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමන හා රැළියට නීතීඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ

විනිසුරුවරුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මේතාක් අනුගමනය කරන ලද ක්‍රියාදාමය 'එලෙසම ක්‍රියාවේ යොදවන බව,' අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කරමින් අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් රජය ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරන්නේ දැයි බීබීසී දමිළ සේවය, තමිලෝසයි හි ජෙයප්‍රකාශ් නල්ලුසාමි කළ විමසීමකට පිළිතුරු දෙමින් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය වරයා කියා සිටියේ රජය 'ව්‍යවස්ථානුකුලව පියවර ගනු ඇති' බවයි.

අධිකරණය විසින් දෙන තීන්දු පිළිගැනීම හෝ නොගැනීම රජය විසින් කරනු ලබන්නේ තමන්ගේ දේශපාලන ලාභය තකා යැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

"ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ," යයි එජාප මන්ත්‍රී රවී කරුණානායක බීබීසී සංදේශයට පැවසීය.

විපක්ෂය නැගිට යයි

"ජනාධිපතිවරණය අවුරුදු පහක්ද හයක්ද කියනකොට ඒක පිළි ගන්නවා. දිවි නැගුමේ කොටස් ගැන කියනකොට ඒක පිළි ගන්නවා. දෝෂාභියෝගය එනකොට ඒක පිළි ගන්නේ නැහැ"

එජාප මන්ත්‍රී රවී කරුණානායක

අභියාචනාධිකරණය විසින් දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කොට තිබියදී රජය අත්තනෝමතික ලෙසින් එය විවාදයට දින නියම කළ බව පැවසූ කරුණානායක මන්ත්‍රීවරයා ඊට විරෝධය පාමින් සමස්ත විපක්ෂයම සඳුදා පැවැති පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ආ බව කියා සිටියේය.

ආණ්ඩු පාක්ෂික සභිකයන් විසින් ලබාදුන් දෝෂාභියෝග වාර්තාව ජනවාරි දහය, එකොළහ දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුනොත් ඊට සහභාගී වන්නේද යන්න පිළිබඳව තම පක්ෂය තවමත් තීන්දු කොට නැති බවත් එජාප මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බදාදා කතානායක වරයා හමුවී 'මෙය දරදඬු පාලනයක අංග ලක්ෂණයක්' දැයි විමසා තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දෝෂාභියෝග වාර්තාව විමර්ශනය කොට උපදෙස් දීමට ජනාධිපති වරයා සිව් පුද්ගල කමිටුවක් පත් කොට ඇතැයි රජය නිවේදනය කොට ඇත.

පාර්ලිමේන්තු හා අධිකරණ කටයුතු පිලිබඳ ප්‍රවීණයකු, ජ්‍යෙෂ්ට නීතිඥයකු, මුල් පෙලේ බැංකු කරුවකු හා පුරවැසි සමාජයේ පිළිගැනීමට ලක්වූ අයකු ගෙන් සමන්විත කමිටුව අඟහරුවාදා වැඩ ඇල්ලූ බවයි රජයේ නිවේදනයේ සඳහන් වන්නේ.

දෝෂාභියෝග වාර්තා විමර්ශනයේ අපක්ෂපාතී භාවය හා ස්වාධීනත්වය රකිනු වස් කමිටු සාමාජික නම් හෙළි නොකැරෙන බව රජය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය තහනම් කිරීම සම්බන්ධ නඩු විභාගය අභියාචනාධිකරණයේ පැවැත්වෙන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය කොළඹදී පා ගමනක් හා රැළියක් සංවිධානය කොට තිබිණි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.