අගවිනිසුරු ධුරයෙන් පහ කිරීම පිළිබඳව සංඝයා වහන්සේ අතර මතභේද

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 14 සඳුදා - 15:55 GMT
CJ Shirani Bandaranayake

අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ආණ්ඩුව ගත් පියවර පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා සහ කැනඩාවේ අගමැතිවරයා ද දැඩි අවධානය පළ කොට තිබේ

දෝෂාභියෝග විමර්ශනයෙන් අනතුරුව අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තිවලට එරෙහිව යන්නක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම කෙරෙහි අවධානය පළ වී තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා පවසයි.

තත්ත්වය පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන මහ ලේකම් කමලේෂ් ශර්මා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, තමා ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට ද බලාපොරොත්තු වන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්, ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව මීළඟට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ දී සාකච්ඡාවට ගන්නා බව පවසයි.

එමෙන්ම මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු කරන බව ද නිවේදනයේ සඳහන්.

'දේශපාලන අරමුණක්'

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර "දේශපාලන අරමුණකින්" යුතු වූ අතර, එහි කිසිදු විනිවිද පෙනෙන සුළු භාවයක් නොවූ බවත් අගමැතිවරයා ප්‍රකාශ කරයි.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆුටා) මේ අතර පවසන්නේ පවතින වාතාවරණයට එරෙහිව ගත හැකි එකම ක්‍රියාමාර්ගය ජනතා උද්ඝෝෂණයක් පමණක් බවයි.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයක් පවතින බවට පැවති "දේශපාලන මිථ්‍යාව" බිඳ දැමීම පිලිබඳව පාලකයන්ට සිය ස්තුතිය පිරිනමන බවද සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් දෝෂාභියෝගය පිළිබඳව මහා සංඝයා වහන්සේගෙන් පළවුණේ එකිනෙකට පරස්පර අදහස්.

එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් බවයි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් සංදේශයට කියා සිටියේ. ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට "දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්" දැරූ උත්සාහය අසාර්ථක වූ බව ද එහිමියෝ පැවසූහ.

'දේශීය සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්'

කෝට්ටේ නාග විහාරස්ථානයේ විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් පවසන්නේ මෙය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පිලිබඳ ගැටලුවක් නොව රටේ නීතියේ ආධිපත්‍යය පිලිබඳ ගැටලුවක් බවයි.

ආණ්ඩුව මෙම තීන්දුවට එළඹුණේ රටේ මහානායක හිමිවරුන් සියලු දෙනාගේම ඉල්ලීම් පවා නොතකා හරිමින් බව ද සෝභිත හිමියෝ සංදේශයට කියා සිටියහ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මතය පැහැදිලි කරන අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි සංදේශයට කියා සිටියේ, විශේෂයෙන්ම සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලියේදී ජනමාධ්‍ය මඟින්ද අධිකරණයේ ගෞරවය කෙලෙසීම පිලිබඳ තම අවධානය පල වී තිබෙන බවයි.

රටේ අනාගත පරපුරේ අනාගතය සුරක්ෂිත වන පරිදි ගැටලුව විසඳා ගන්න මෙන් අන්ද්‍රාදි රදගුරු හිමියෝ අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිති.

මුස්ලිම් ප්‍රජා නායකයෝ ද දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරති. සාධාරණය හා සාමය සඳහා වන පෙරමුණේ සභාපති නජා මොහමඩ් සංදේශයට කියා සිටියේ 1978 ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලබා දෙන ලද අසීමිත බලය මේ ගැටලුවට ප්‍රධානම හේතුව බවයි.

රටේ සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් සුරකින ව්‍යවස්ථාවක් අද ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබෙන බවයි, ඔහු පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.