ඒකාධිපතිවාදයට ජනමාධ්‍ය උදවු කළා - රනිල්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 14 සඳුදා - 13:52 GMT
Ranil Wickramasinghe

"ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය"

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව "ඒකාධිපතිවාදය කරා යන ගමනේදී" රටේ ජනමාධ්‍ය නිහඬව සිටිමින් එයට රුකුල් දුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එජාප සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒ බව පැවසුවේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉරිදා පදවියෙන් පහ කිරීම දක්වා සති ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ දෝෂාභියෝග ක්‍රියාදාමය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින්.

"ඒකාධිපති රාජපක්ෂ රෙජීමයක් ඇති කර ගන්න එක මහින්ද රාජපක්ෂ ට තනියම කරන්න බැහැ. නිශ්ශබ්ද වෙලා උදවු කරපු අය හිටිය. මේකට උදවු කරපු එක කණ්ඩායමක් තමයි මාධ්‍ය," ඔහු පැවසීය.

විශේෂයෙන්ම "එල්ටීටීඊ සංවිධානය විනාශ කරන මුවාවෙන්" ආණ්ඩුව ජනතාවගේ නිදහස නැති කරද්දී ජනමාධ්‍ය එම ක්‍රියාවලියට ප්‍රබල සහයෝගය පළ කළ බවට, කොළඹදී ජාතික නීතිඥ සංගමය අමතමින් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

පාර්ලිමේන්තු රීති උල්ලංඝනය

"අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ"

එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මන්ත්‍රීවරයා

මේ තත්ත්වය පිළිබඳව විරෝධය පළ කළ සුළුතරය "සුදු වෑන් වලින් පැහැර ගත්" බව පවසන ඔහු, 18 වැනි සංශෝධනය වැනි "ව්‍යවස්ථා විරෝධී" ක්‍රියාදාමයන් සිදු වෙද්දී බොහෝ දෙනා නිහඬව සිටි බවද පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදයක් මේ වනතුරුත් ශ්‍රී ලංකාවේ නොපැවතුනු බව පවසන විපක්ෂ නායකවරයා, ඉතිරිව පවතින ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම සඳහා ජනතාව සමඟ වීදි බැසීම හැරෙන්නට අන් මඟක් නොමැති බවයි අවධාරණය කළේ.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම චෝදනා 14 කින් තුනකට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීන්දු කළේය.

දෙසැම්බර් 08 වෙනිදා ඔවුන්ගේ වාර්තාව කතානායකවරයාට භාරදුන් අතර, පසුගිය සතියේ පැවැත්වුණු ඒ පිලිබඳ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝගයට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය.

කෙසේ නමුත්, දෙසැම්බර් 10 වැනිදා අදාළ විවාදය පිලිබඳ න්‍යාය පුස්තකයට ඇතුලත්ව තිබුනේ තේරීම් කාරක සභාවක් පත්කරන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලන යෝජනාව මිස තේරීම් කාරක සභා වාර්තාව නොවන බව පවසන එජාප මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර, එහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කළ බවට කතානායකවරයාට චෝදනා කරයි.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමයම රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මත සිදුවූවක් බවයි, සමරවීර මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

"මේ නීති විරෝධී දේ කරන්න සම්පූර්ණයෙන්ම අනෙක් සහෝදරයා කතානායක වරයා සහයෝගය දුන්නා. අවසාන මොහොතේ දී පාර්ලිමේන්තු රීති උල්ලංඝනය කරමින් තමයි චමල් රාජපක්ෂ කතානායකවරයා තමන්ගේ පවුලේ වුවමනාව ඉටුකරන්න පාර්ලිමේන්තුව යොදා ගත්තේ," යනුවෙන් ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.