අලුත් අගවිනිසුරුට එරෙහිව නඩු පැවරිය හැකියි - නීතිවේදීහු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 14 සඳුදා - 12:31 GMT
Lawyers Collective protesting against impeachment (file photo)

අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු නොතකා හරිමින් නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ හොත් එයට එරෙහිව අධිකරණයට යාමට රටවැසියන්ට අවස්ථාව හිමිවන බව නීතිවේදීහු පවසති.

නීතිවේදී එකමුතුව වෙනුවෙන් කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් නැතත්, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබෙන බවයි.

එවැනි "ව්‍යවස්ථා විරෝධී" ක්‍රියාමාර්ගයකින් පත්වන නව අගවිනිසුරුට මුක්තියක් හිමි නොවන බවයි, ජ්‍යෙෂ්ට නීතිවේදියා අවධාරණය කළේ.

"ඔහුට මුක්තියක් නෑ. ඔහු එම ධුරය දැරීමට කරන නීති විරෝධී උත්සාහය අභියෝගයට ලක් කළ හැකියි," යනුවෙන් ද ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය යටතේ අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කොට නව අගවිනිසුරුවරුවරයකු පත් කිරීමේ තීන්දුව වෙනස් කරන්නැයි නීතිවේදී එකමුතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.

කිසියම් ලෙසකින් නව විනිසුරුවරයකු පත් කළහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ද නීතිවේදීහු පවසති.

නව අගවිනිසුරුවරයා සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන මෙන් තම සංවිධානය කළ ඉල්ලීමට විනිශ්චයකරුවන් ගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නැතත්, ඉදිරියේදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවද නීතිවේදී එකමුතුව පවසයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.