දහ නවවැනි සංශෝධනයක් ගෙන ඒමේ අවධානය යොමුවී තිබෙනවා - අමාත්‍ය රඹුක්වැල්ල

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 17 බ්‍රහස්පතින්දා - 13:33 GMT

පසුගිය දිනවල පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඇතිවූ අර්බුදය සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහ නවවැනි සංශෝධනයක් ගෙන ඒමට ඇති අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

එවැනි සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බොහෝ අංශවල සාකච්ජා කෙරෙන බවත් රටේ මතයක් ගොඩ නැගී ඇති බවයි.

එවැනි තත්වයක් යටතේ රජයට තීන්දුවක් ගැනීමට සිදුවන බව කියා සිටි ඇමතිවරයා සංශෝධනයක් ගෙන ඒමට පෙර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන බව ප්‍රකාශ කළේය

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරධුරයෙන් පහකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ගලා එන විදේශ ආයෝජනවල අඩාලවීමක් සිදුවිය හැකි බවට පලවන වාර්තා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ මානුෂික මෙහෙයුම පැවති වකවානුවේදීත් මෙවැනිම අදහස් පලවූ බවත් එහෙත් යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ගලා ආ විදේශ ආයෝජනවල වර්ධනයක් දක්නට ලැබුණු බවයි.

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් ඉදිරිපත්කොට ඇති පැහැදිලිකිරීම ගැන සෑහීමකට පත්විය නොහැකි බවට අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රතිචාරය පල කළේ මෙසේයි.

"තම තමන්ට තමන්ගේ මතයන් ඉදිරිපත්කළ හැකියි . මේක සියලු කාරණා පිළිබඳව ගැඹුරට අධ්‍යනය කරල තමයි ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ. ජී.එල්.පීරිස් ඇමතිතුමා මහාචාර්යවරයෙක් නීතිය පිළිබඳව. එතුමා විසින් ඒ පැහැදිලිකිරීම අපේ රටේ ව්‍යවස්ථාවට අනුව පැහැදිලි කරල තියෙනවා"

ධුරයෙන් පහකළ ශිරානි බණ්ඩාරනායක නැවත තනතුරේ පිහිටුවන ලෙසට ජාත්‍යන්තර ජුරි කොමිෂම විසින් කර ඇති ඉල්ලීමද ප්‍රතික්ෂේප කරන බව ඇමතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ ව්‍යවස්ථාව අනුව මිස බාහිර සංවිධානවල හෝ ශ්‍රී ලංකාවට පිටත ඇති සංවිධාන විසින් කරනු ලබන විවිධ ප්‍රකාශ මත පදනම්ව නොවන බවයි ඇමතිවරයා පැවසුවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.