ඉන්දු-ලංකා වෙළෙඳාම දෙගුණ කිරීමට එකඟවෙති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 22 අඟහරුවාදා - 13:48 GMT
Indo-Lanka flags

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව ඒකාබද්ධ නිවේදනයේ කිසිදු සඳහනක් නැහැ

ඉදිරි වසර තුන ඇතුලත ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන දහයක් දක්වා දෙගුණ කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලධාරීහු එකඟත්වය පළ කළහ.

ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස්ගේ සම සභාපතිත්වයෙන් නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ අට වැනි සැසිවාරයේදීයි, මෙම එකඟත්වයට එළැඹී තිබෙන්නේ.

දෙපාර්ශවය අතර ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමකට සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීමේ ගිවිසුම් දෙකකට ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී අත්සන් තැබූහ.

යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ඉන්දියාව විසින් මේ වනවිට නිවාස 1000ක් තනා දී ඇති බවත්, තවත් නිවාස 49,000 ක් තනා දීමේ ව්‍යාපෘතියක් පසුගිය වසරේ ඔක්තෝබරයේදී ආරම්භ කළ බවත් සමුළුවෙන් අනතුරුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.

නව විදුලි බලාගාර

කෙසේ නමුත්, යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමෙහිලා ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව ඉන්දියාවට තවදුරටත් මුනිවත රැකිය නොහැකි බවයි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ.

"ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දීය ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනසක් විය යුතුයි කියල අපි තරයේ විශ්වාස කරනවා. ලංකාවේ ආණ්ඩුව සතුටු කරන විදියේ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් ඉන්න බවක් තමයි අපිට දැන් පේන්න තියෙන්නේ," ඔහු පැවසීය.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව ඒකාබද්ධ නිවේදනයේ කිසිදු සඳහනක් නැහැ.

දැනට ඇනහිට තිබෙන සාම්පූර් විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු 2016 වසර වනවිට ආරම්භ කළ යුතු බවටද දෙපාර්ශවය එකඟ වූ බවත් නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙගවොට් 15 ක ධාරිතාවයෙන් යුත් කාබනික විදුලි බලාගාර තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමටත් දෙපාර්ශවය එකඟ වී තිබේ.

ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයන්ට එල්ල වන ප්‍රහාර අවම කිරීමට කැප වන බවට ද දෙපාර්ශවය එකඟත්වය පළ කළහ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.