උතුරේ සාගර සම්පත් ආරක්ෂා කරන්න - ධීවරයෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 27 ඉරිදා - 13:37 GMT
Fishermen's walk in Mannar

ඉල්ලීම් ඉටු කර දෙන මෙන් බල කරමින් වෙරළ තීරය දිගේ කිලෝ මීටර 600 කට වැඩි දුරක් ගමන් කිරීමට ධීවරයෝ සංවිධානය වී සිටිති

ධීවරයන්ගේ අයිතිවාසිකම් රැක දෙන මෙන් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස ආණ්ඩු දෙකෙන්ම ඉල්ලා සිටීමේ දීර්ඝ පාද යාත්‍රාවක් මන්නාරමේ මුල්ලිකුලම ප්‍රදේශයෙන් ආරම්භ කළ උතුරේ ධීවරයෝ, උතුරු ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීමට මැදිහත් වන මෙන් දෙරටින්ම ඉල්ලා සිටිති.

කූඩන්කුලමේ ඉදිවන න්‍යෂ්ටික බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයන්ට අනිටු විපාක විඳීමට හේතුවීම නිසා එයට විරෝධය පළ කිරීම දින විස්සක් මුළුල්ලේ පැවැත්වෙන මේ පා ගමනේ එක් අරමුණක්.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණ උතුරු මුහුදේ බලහත්කාරයෙන් මසුන් මැරීමට විරෝධය පළ කිරීම තවත් අරමුණක් වන අතර යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ධීවර ජනතාවට ආධාර කරන මෙන් ද ඔවුහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

තම ඉල්ලීම් ඉටු කර දෙන මෙන් ඉන්දීය රජයටත් ලංකාවේ රජයටත් බල කරමින් වෙරළ තීරය දිගේ කිලෝ මීටර 600 කට වැඩි දුරක් ගමන් කිරීමට ධීවරයෝ සංවිධානය වී සිටිති.

මන්නාරමෙන් ආරම්භ වූ පාද යාත්‍රාවට උතුරේ සියලු ධීවර සමිති නියෝජිතයන් දිනෙන් දින එක්වීමට නියමිත බව ප්‍රධාන සංවිධායක වී සහාදේවන් දිනසේන රතුගමගේට පැවසීය.

දින විස්ස අවසානයේ කෝකිලායි කලපුවේදී විශේෂ රැස්වීමක් පවත්වා ඉන්දීය සහ ශ්‍රී ලංකා බලධාරීන් ට තම ඉල්ලීම් ඇතුලත් සංදේශ දෙකක් භාරදීමට ද සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විසඳුම් සෙවීමට දෙරටේම නියෝජිත පිරිස් අතර ඉකුත් සතියේ යාපනයේ ඒකාබද්ධ හමුවක්ද පැවැත්විණ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.