මැද පෙරදිග ගෘහ සේවිකාවන් ගැන කථා කිරීම 'තහනම් කරලා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 27 ඉරිදා - 14:57 GMT
Rizana Nafeek's parents with President Rajapaksa

මැද පෙරදිග ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව කථාකිරීම ආණ්ඩුව විසින් මාධ්‍යවලට තහනම් කොට තිබෙන බව එජාපය පවසයි

මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන්ට වධ බන්ධන පැමිණවීම ඇතුළු ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ප්‍රසිද්ධියේ කථා නොකරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි විරුද්ධ පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඒ බව පැවසුවේ පසුගියදා සවුදි අරාබියේදී රිසානා නෆීක් හිස ගසා මරා දැමීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික කාන්තාවන් සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත් නොකරන මෙන් මතුවන උද්ඝෝෂණය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් පල කරමින්.

"මම නාලිකා ගණනාවකට කතා කරලා රිසානා ගැන විවාදයක් ඉල්ලද්දී, ඒ නාලිකා අද නිහඬව ඉන්නවා. මොකද රජය බල කරලා තියෙනවා මේ ප්‍රශ්නේ අදින්න එපා මොකද දළ ජාතික ආදායමේ ඩොලර් බිලියන හය අපිට ලැබෙන්නේ මේකෙන් කියල," ඔහු පැවසීය.

"එක දිගට බෙලි සීයක් කැපුවත්, දෙසීයක් කැපුවත් කවදාවත් අපේ අහිංසක ජනතාව සවුදි රටට යන එක නවත්වන්නේ නෑ"

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

රන්ජන් රාමනායක, මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා කලක් මුළුල්ලේ උද්ඝෝෂණයක නිරතව සිටින්නෙක්.

මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට එවන මුදල අහිමි කර ගැනීමට කැමති ආණ්ඩුව, බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු සමාජයෙන් මතුවන විරෝධයට කන්දෙනු නැති බවයි, ඔහු පවසන්නේ.

"එක දිගට බෙලි සීයක් කැපුවත්, දෙසීයක් කැපුවත් කවදාවත් අපේ අහිංසක ජනතාව සවුදි රටට යන එක නවත්වන්නේ නෑ," යන්න රාමනායක මන්ත්‍රීවරයා ගේ අදහසයි.

කෙසේ නමුත් තමන්ගේ මෙම විරෝධය ගෘහ සේවිකාවන් මැද පෙරදිගට පිටත් කිරීමට එරෙහිව පමණක් බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, සාත්තු සේවක සේවිකාවන්, රියදුරන්, වඩු කාර්මිකයන් වැනි වෙනත් සේවාවන් සඳහා එම රටවලට ශ්‍රී ලාංකිකයන් පිටත් කිරීමේ කිසිදු වරදක් නැති බවද පවසයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.