සැබෑ මාධ්‍යකරුවා හඳුනා ගන්න - ජනතාවගෙන් ඉල්ලීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 29 අඟහරුවාදා - 14:18 GMT
Black January protest

"එක පැත්තකින් මේ මර්ධනයට එරෙහිව පෙළ ගැහෙනව වගේම, මේ රටේ ඇතැම් මාධ්‍ය විසින් වපුරන මිථ්‍යාව හඳුන ගන්න, බොරුවෙන් ඇත්ත වෙන් කරලා තේරුම් ගන්න"

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් සැබෑ මාධ්‍යකරුවා හඳුනා ගැනීමේ වගකීමක් ජනතාවට ද තිබෙන බව මාධ්‍ය ක්‍රියාධරයෝ පවසති.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර ඒ බව පැවසුවේ කොළඹ දී පැවති කළු ජනවාරි උද්ඝෝෂණයෙන් අනතුරුව මහජන පුස්තකාලයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අමතමින්.

"එක පැත්තකින් මේ මර්ධනයට එරෙහිව පෙළ ගැහෙනව වගේම, මේ රටේ ඇතැම් මාධ්‍ය විසින් වපුරන මිථ්‍යාව හඳුන ගන්න, බොරුවෙන් ඇත්ත වෙන් කරලා තේරුම් ගන්න," යනුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත කියා සිටියේ රජයෙන් හෝ විරුද්ධ පක්ෂයෙන් මාධ්‍ය නිදහස ඉල්ලා සිටීම විහිලුවක් බවයි.

'මිථ්‍යාව'

මාධ්‍යවේදීන් ට අල්ලස් ලබා දී ඔවුන් අවනත කර ගැනීමට උත්සාහ දරන බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ධර්මසිරි ලංකාපේලි මේ අතර ආණ්ඩුවට චෝදනා කළේය.

"ලැප් ටොප්, වාහන ණය මේවා ජනමාධ්‍ය සමාජයට ලැබෙන සහන හෝ ප්‍රතිලාභ නෙවෙයි. ජනමාධ්‍යවේදීන් ගෙන් තෝරාගත් අන්තේවාසිකයන් පිරිසකට තමයි ඔය කියන පහසුකම් ලැබෙනව නම් ලැබෙන්නේ," ඔහු පැවසීය.

ඝාතනයට ලක්වූ, පැහැර ගැනුණු සහ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමේ අටියෙන් මාධ්‍ය ක්‍රියාධරයන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ක්‍රියාධරයෝ කළු ජනවාරිය උද්ඝෝෂණයට එක් වී සිටියහ.

ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම්, මයිල්වාගනම් නිමලරාජන් සහ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ගේ ඡායාරූප රැගත් පුවරු අත ඇතිව උද්ඝෝෂණ පෙළපාලියේ ගමන් කළ ඔවුහු, දිගින් දිගටම මාධ්‍ය නිදහසට එල්ල කෙරෙන බලපෑම් නතර කරන මෙන් සහ මාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදහන් කිරීම සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසත් බලධාරීන් ගෙන් ඉල්ලා සිටියහ.

ගතව ගිය දශකය ඇතුලත මාධ්‍ය ක්‍රියාධරයන් 17 දෙනකුවත් මරා දමා ඇති බව මානව හිමිකම් සංවිධාන පවසති. තවත් බොහෝ පිරිසක් තර්ජන හමුවේ රට අත්හැර පලා ගොස් සිටිති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.