ආගම් භේද ඇතිකරන්න එපා - ජනාධිපති මහින්ද

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 4 සඳුදා - 12:42 GMT
President Mahinda Rajapaksa at a ceremony to mark war victory (file photo)

දේශීය සහ විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ අවධානය පළ කළේය

එල්ටීටීඊයේ බෙදුම්වාදය පරාජය කොට සිවු වසරක් ගත වෙමින් තිබියදී තවත් ආකාරයක බෙදුම්වාදයක් මතුවීමේ පරිසරයක් නිර්මාණය වෙමින් තිබෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිභේද හෝ ආගම් භේද ඇතිකරන ඕනෑම පුද්ගලයෙකු සිය ආගමට සේවය කරන්නෙකු නොව බෙදුම්වාදය වපුරන්නෙකු බව පවසන ජනාධිපතිවරයා එවන් තත්ත්වයක් වර්ධනය වීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කරයි.

"ත්‍රස්තවාදයෙන් කරන්න බැරිවුණු දේ මෙබඳු දේකින් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ," බවයි ඔහු පවසන්නේ.

මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලිය ඉදි කිරීම සඳහා ඉඩම් ප්‍රදානය කළේ අස්ගිරිය මහා විහාරය විසින් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රිකුණාමලයේ පැවැත්වුණු 65 වෙනි නිදහස් උළෙලේ දී ජාතිය අමතා කළ දේශණයේදී ජනාධිපතිවරයා විශේෂයෙන්ම අවධානය පළ කළේ දේශීය සහ විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග පිළිබඳව.

"ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමූ ලෝකයේ එකම රට" බවට පත් වී සිවු වසරක් ගත වී ගියත් රටේ නිදහස සහ ස්වාධීනත්වය සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට දිගින් දිගටම ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන බව ඔහු පැවසීය.

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර ප්‍රදේශයක නිදහස් උත්සවය පැවැත්වෙන ප්‍රථම වතාව මෙයයි.

ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ අප්‍රිකානු සහ අරාබි ට්‍රටවල් සමඟ රාජ්‍යතාන්තරික සම්බන්ධතා තර කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව සෑම රටකටම සමානව සැලකුම් ලැබීමේ අයිතියක් තිබෙන බව පෙන්වා දෙන ඔහු, බලවත් සහ දුබල ඕනෑම රටක් එම ප්‍රඥප්තියට ගරු කළ යුතු බව ද පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.